Quantcast
Channel: විශේෂාංග
Viewing all 10762 articles
Browse latest View live

අනවසර අය නිසා අපට හයර් නෑ

$
0
0
දෙසැ 19, 2019 01:00

දිගන දුම්බරමිටියාවත ත්‍රීවීල්

ලක්ෂ්මන්,මංගල,මෝගන්,රාසාද,ප්‍රේමචන්ද්‍ර,දමිත්,ගාමිණී, කුමාර ,පරමසිවන්,සම­ර­කෝන්,හේරත්,කොඩිස්වරන්,නන්දසිරි,සුමිත් ,අසේල,රංජිත්,හසන්, සිවාන්,මොහො­මඩ් , ඉෂාක්,සරත්,සුභා­කා­රම්,වාසල,අමා­නුල්ලා,කිෂාන කුමා ,සන්දන රාජා,ඉමි­ටි­යාස්,උපුල්,ආරච්චි,සිරි­මාන්න,සිව­රාජා,ධනුෂ්ක,අලි,සියාම්,කන්නා, සමන් තිස්ස,ඒක­නා­යක

කානු පද්ධතියක් අලුතෙන් හැදුවා. ඒ කානුව උසින් දැමූ නිසා දැන් වීල් නවත්වන්න බෑ. නගරයේ කුණු කසළ වගේම මාළු කඩවල, හෝටල්වල අපද්‍රව්‍ය වර්ෂාව පවතින දිනවල අපේ පාක් එක මැදින් තමයි ගලා බසින්නේ. මේ ගැන ප්‍රදේශීය සභාවේ සභාපතිතුමාට පැමිණිලි කළා. සභාපතිතුමා කියනවා සභාවට අයිති නෑ, ඕවා කරන්න ඕනේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් කියා. අපේ දුක කාට කීවත් වැඩක් නෑ.

දිගන නගරය යනු සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනවාර්ගිකයන් විසින් ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන නගරයකි. නගරය මැද තුන්මං හන්දියකින් සමන්විතය. එනම්, මහියංගණයට යන ප්‍රධාන මාර්ගය, මාතලේට යන ප්‍රධාන මාර්ගය හා මහනුවර දෙසට ගමන් කළ හැකි ප්‍රධාන මාර්ග තුනක් සම්බන්ධ වන තුන්මංහන්දියයි.

දිගන නගරයේ ද ත්‍රිරෝද රථ නැවතුම් ස්ථාන 23 ක් තිබේ. මේ ත්‍රිරෝද නැවතුම්පොළ සාමාජිකයෝ 480 ක් පමණ සිටිති. මේ ගමනේදී අපට පළමුවෙන්ම හමුවුණේ දිගන දුම්බර මිටියාවත ත්‍රිරෝද රථ සංගමයේ නිලධාරීන් පිරිසකි.

ශ්‍රී ලංකාවේ සෑම නගරයකම ළමයින්ට මෙන්ම වැඩිහිටියන්ටත් ගමනක් යෑමට අවශ්‍ය වූ විට ද නැතිවම බැරි එමෙන්ම ඉතා අඩු මුදලකට ගමනක් යෑමට අවශ්‍ය වු විට ද සොයන්නේ ත්‍රිරෝද රථයකි. ත්‍රිරෝද රථයක් නොමැති නගරයක් නැත.

ත්‍රිරෝද රථ රියැදුරන් නගරවල ත්‍රිරෝද රථ සංගම් පිහිටුවාගෙන ඒ මගින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගනී.

දිගන දුම්බර මිටියාවත ත්‍රිරෝද රථ මහ සංගමයේ සභාපති උපුල් ප්‍රියන්ත මහතා තම සංගමය ගැන තොරතුරු පැවසුවේ මෙලෙසනි.

"දිගන නගරයේ ත්‍රිරෝද සංගම් 23 ක් තියෙනවා. ඔවුන් එකතුකරගෙන මවු සංගමයක් පිහිටෙව්වා. මේ නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන් 480 ක් පමණ ඉන්නවා. ඉන් ත්‍රිරෝද රථ රියැදුරන් 140 ක් පමණ අපේ මවු සමිතියේ සාමාජිකයින්. මේ සාමාජිකයින්ගේ දුක සැප සොයාබැලීම අපේ වගකීමක්. සාමාජිකයෙක් වගේම ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් සුබසාධන වැඩසටහනක් තිබෙනවා. සාමාජිකයෙක් මියගිය විට රුපියල් 20,000ක්, යැපෙන්නන් මියගිය විට රුපියල් 15,000 ක දීමනාවක් දෙනවා. ඒ වගේම සාමාජිකයෙක් අනතුරකට පත් වුවහොත් රුපියල් 10,000 ක් ගෙවනවා. ඒ වගේම ඔවුන්ගේ දරුවන්ට පාසල් උපකරණ ලබාදෙන අතර දරුවන්ගේ රෝගී අවස්ථාවන්වලදී බෙහෙත් හේත් කර ගැනීමටත් උදව්කරනවා. මීට අමතරව නගරය අලංකාර කිරීම සඳහා ඉවත දමන කසළ දැමීමට කසළ බඳුන් සැම ත්‍රිරෝද රථ පාක් එකකටම ලබා දුන්නා. මේවා තමයි මවු සංගමයේ වැඩ."

දිගන අංක 18 වික්ටෝරියා ත්‍රිරෝද රථ සංගමයේ ලේකම් සුමිත් බණ්ඩාර මහතා

"මේ ත්‍රිරෝද රථ පාක් එකේ ත්‍රිරෝද රථ 200 ක් පමණ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි වී තිබෙනවා. ඒත් මේ පාක් එකේ ත්‍රිරෝද රථ 15 ක් වත් නවත්වන්න ඉඩකඩ නෑ. අපි පාරෙ දෙපැත්තේ වීල් නවත්වලා තිබුණා. නමුත් කානු පද්ධතියක් අලුතෙන් හැදුවා. ඒ කානුව උසින් දැමූ නිසා දැන් වීල් නවත්වන්න බෑ. නගරයේ කුණුකසළ වගේම මාළු කඩවල, හෝටල්වල අපද්‍රව්‍ය වර්ෂාව පවතින දිනවල අපේ පාක් එක මැදින් තමයි ගලා බසින්නේ. මේ ගැන ප්‍රදේශීය සභාවේ සභාපතිතුමාට පැමිණිලි කළා. සභාපතිතුමා කියනවා සභාවට අයිති නෑ, ඕවා කරන්න ඕනේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් කියා. අපේ දුක කාට කීවත් වැඩක් නෑ. ඒ මදිවට අනවසරයෙන් එන ත්‍රිරෝද රථ නගරය පුරා යමින් අඩු ගණන්වලට හයර් යනවා. ඒ කියන්නේ නියමිත හයර් එකක් සඳහා අපි රුපියල් 70 ක් ගන්නකොට ඔවුන් ගන්නේ රුපියල් 50 ක්. වසර ගණනාවක් මේ නගරයේ දුක්විඳින අපි වෙනුවෙන් කවුරුවත් කතා කරන්නේ නෑ. අනවසරයෙන් නගරයේ ගැවසෙන ත්‍රිරෝදවලින් තමයි මත්පැන් ප්‍රවාහනය කරන්නේ. නීති විරෝධී වැඩ කෙරෙන්නේ. මේ ගැන කාට කීවත් වැඩක් නෑ. අපි අන්ත අසරණ වෙලයි ඉන්නේ. ඉතින් මේ නව රජයෙන්වත් අපට පිහිටක් ලැබෙයි කියලා අපි බලාගෙන ඉන්නවා."

දිගන සමගි ත්‍රිරෝද රථ සංගමයේ සභාපති පි.ජි සමන් තිස්ස මහතා

"අපේ පාක් එක තියෙන්නේ අලුත්වත්ත මංසන්ධියේ. මේ පාක් එකේ සාමාජිකයින් 48 ක් ඉන්නවා. අපට ජීවත්වීමට තරම් හොඳ ආදායමක් නෑ. අපි අද අසරණ වෙලයි ඉන්නේ. මේ නගරයට එන ලියාපදිංචි නොවුණ අනවසරයෙන් නගරයට එන ත්‍රිරෝද රථ නිසා අපිට හයර් එකක් යන්න නෑ. මේ අය නගරයේ සැරිසරමින් හයර් යනවා. ඒ අයට පාක් එකක් නෑ. මේ ගැන බලධාරීන් දැනුවත් කළත් වැඩක් නෑ. අපි කියන්නේ මේ අනවසරයෙන් නගරයේ සැරිසරන පුද්ගලයින් ගැන සොයා බලා නීතිමය පියවරක් ගන්න කියලයි. නගරයේ අනවසර ත්‍රිරෝදවල සිටින සමහර අය රජයේ රැකියා කරනවා. ඔවුන්ට රැකියාවෙනුත් ආදායමක් ලැබෙනවා. අපිට හයර් එක්ක නොලැබුණොත් එදාට කුසගින්නේ ඉන්නයි වෙන්නේ."

 

සටහන සහ ඡායාරූප

ඇළහැර සමූහ

සරත් වෙලගෙදර


මහ මැතිවරණයෙන් එජාපය තවත් වැටෙනවා

$
0
0
දෙසැ 20, 2019 01:00
තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර

නවක ඇමතිවරයකු ලෙස තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයේ වගකීම්වලට මුහුණ දෙන්නේ කෙසේ ද? , තේ කර්මාන්තයේ පවතින ගැටලුවලට විසදුම් සොයන්නේ කෙසේ ද, යන්නත්, ආණ්ඩුවට මුහුණ දීමට සිදු වී ඇති කෙටි කාලීන හා දිගු කාලීන අභියෝග පිළිබඳවත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර සාකච්ජාවට එක්වේ.

- 2015 ජන වරම පුංචි ඡන්දයෙන් අහෝසි වුණා 
- ජනතා කැමැත්ත 225 ම ගෙදර යවන්න 
- පරදින නිසා සමූප ඡන්දයත් පස්සට දැම්මා 
- තේ කර්මාන්තයට දිගු කාලීන පිළියමක් ඕනෑ 
- මැතිවරණ බලාගෙන කටයුතු කරන්නේ නැහැ 
- මන්ත්‍රීවරුවන්ට චෝදනා තියනවා

 ඔබට ලැබුණු අමාත්‍යාංශයේ විෂය පථය අලුත් අත්දැකීමක්. නවකයකු ලෙස එයට මුහුණදීම අභියෝගයක් කියලයි අපේ හැඟීම ?

“ ඇත්තටම ඔබ කියන කතාව හරි. මොකද? මම වැඩ බාරගන්නකොට මේ විෂය පථයේ කොයිතරම් දුරට මට වගකීමක් ලැබේද කියල අවබෝධයක් තිබුණේ නෑ. නමුත් මම එක පැත්තකින් සතුටුවෙනවා ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා මේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් මණ්ඩලයට තරුණ මන්ත්‍රීවරු ගණනාවක් ඇතුළත් කර තිබෙනවා. ඒ වාගේම මෙම රාජ්‍ය අමාත්‍යවරු හා කැබිනට් මණ්ඩලයේ ඉන්න දහසය දෙනා හා රාජ්‍ය අමාත්‍යවරු තිස් අටදෙනා මේ වන විට වැඩ භාරගෙන තිබෙනවා. ඒ අතරේ ලාබාලතම මන්ත්‍රීවරයා හැටියට මටත් වගකීමක් ලැබීම පිළිබද මම සතුටට පත්වෙනවා. ඒ සදහා මගේ ගෞරවයත් ස්තූතියත් ජනාධිපති තුමාටත් අගමැතිතුමාටත් පක්ෂ නායකයන්ටත් පිරිනමනවා.

තේ කර්මාන්තය මෙරට අපනයන භෝග අතුරින් ඉහළ තැන තිබෙන කර්මාන්තයක්. මෙය තවදුරටත් සංවර්ධනය කරමින් පෙරට ගෙනයන්න යම් වැඩපිළිවෙළක් තිබෙනවාද?

“ මම අමාත්‍යාංශ නිලධාරීන් එක්ක කරපු පළමු සාකච්ඡාවෙදිම ඇහුවෙ ඔවුන්ට යම් වැඩපිළිවෙළක් තිබෙනවාද යන්න පිළිබදව. කියන්න කණගාටුයි ලංකාවේ තේ කර්මාන්තය ගැන මේ වනතෙක් ඉතිහාසය පුරාම දීර්ඝකාලීන වැඩසටහනක් සකස් කර නෑ. ඒ නිසා අපේ පළවෙනි කාර්ය බවට පත්වෙන්නේ ඒ වෙනුවෙන් සැලසුමක් සකස් කිරීම. මේවනවිටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරම්භ කරපු වැඩපිළිවෙළක් තිබෙනවා. සති තුනක් ඇතුළත ජනවාරි මාසයේ මුල සතිය වන විට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් අපිට නිර්මානය කරල දෙන්න අපි කිව්වා. ඒ වැඩපිළිවෙළ හදන්නේ පහුගිය ආණ්ඩුවෙන්ද ඒ ආණ්ඩුවෙ නියෝජිතයන්ගෙන්ද ඒ අදහස් ලබාගත්තෙ කාගෙන්ද කියන එක වැදගත්වෙන්නේ නෑ. ඒක ප්‍රායෝගික වැඩපිළිවෙළක් නම් අපි ඒක ක්‍රියාත්මක කිරීම සදහා සහයෝගය දෙනවා . තේ වතුවලට පමණක් නොවෙයි අද ගැටලුවක් බවට පත්වෙලා තියෙන්නේ. අපි අමාත්‍යාශයක් විදියට අපේ ඇමතිතුමා පළමුවෙන්ම ගත්තු තීන්දු දෙක තුන තේ කර්මාන්තයට බෙහෙවින් වැදගත් . විශේෂයෙන් බැංකු සමග කතාකර ගත් තීන්දුව. තේ මණ්ඩලය සමග කතාකරල ඒ අරමුදල් ලබාදෙන්න ගත් තීන්දුව තව තුන්වන තීන්දුවක් ගත්තා. කිසිම ආකාරයකින් ලංකාවේ වගාකරන කිසිම බෝගයක් අපි ආනයනය කරන්න දෙන්නේ නෑ.

පිට රටින් බාල තේ ගෙනවිත් අපේ තේ සමග කළවම්කර වෙළදපොළට යැවීම ගැන කර්මාන්තකරුවන් අතර කතාබහක් තිබෙනවා. මේක මෙරට තේවල ගුණත්වයට ලොකු ප්‍රශ්නයක්. මේ සම්බන්ධයෙන් ඔබ ගන්න බලාපොරොත්තු වන ක්‍රියා මාර්ගය කුමක්ද?

තේ කර්මාන්තයේ විශේෂිත වර්ග තිබෙනවා. ඒවා අපි ආනයනය කළ යුතුයි. ඒ සදහා අගය එකතුකර අපනයනය කරන ඒවාත් තිබෙනවා. ඒ සදහා අවස්ථාව ලබා දෙන්නත් අපි දන්නවා .පහුගිය කාලයේ ඒක පාවිච්චි කරලා බලපත්‍ර සහිත පුද්ගලයෝ මේ රටේ වගාකරන තේ වර්ගයට සමාන තේ විශාල වශයෙන් මේ රටට ආනයනය කර තිබෙනවා.අඩු මුදලකට ආනයනය කරලා ඒක අපේ රටේ තේ සමග මිශ්‍රකර අපේ රටේ තිබෙන සිලොන් ටී කියන සන්නාමයට හානිවන ආකාරයට වැඩකටයුතු සිද්ධ වී තිබෙනවා. තේ මණ්ඩලය මේ වන විටත් විදේශ රටවල් ගණනාවක නියෝජිතයන් පත්කරල ඉන්නවා. වාහන තියෙනවා. ඒ නියෝජිතයින්ගේ කාර්යභාරය වෙලා තියෙන්නෙ අපේ සන්නාමය ඒ රටවල් තුළ ප්‍රවලිත කිරීම සහ අපේ වෙළඳපළ සොයාගැනීම. නමුත් අද වන විට ඒ කටයුත්ත හරියට සිද්ධවෙන්නෙ නැහැ. අපි තේ අපනනය කරන රටවල් හයෙන් පහකම අර්බුද ගොඩනැගිල තිබෙනවා. තුර්කිය, ඉරානය, පාකිස්ථානය, සිරියාව වැනි රටවල් අපෙන් වැඩිවශයෙන් තේ ලබාගන්නා රටවල්. ඒ රටවලුත් අපේ තේ ප්‍රති අපනයනය සදහා යොදාගෙන තිබෙනවා. ඒ රටවලටද සෘජුවම අපේ සිලෝන් ටී නාමය ගෙනයා හැකි නම් අපට මීට වැඩිය හොද වෙළදපොළක්, මිලක් සොයාගත හැකියි.

2014 වසරේ තේ දළු වලට රුපියල් අසූවක මිලක් ලැබුණා . නමුත් 2019 වෙනකොට අද වනවිට රුපියල් අනූවක වගේ මුදලක් තමයි ලැබෙන්නෙ. නමුත් ඇමෙරිකානු ඩොලරය රුපියල් පනස් තුනකින් වැඩිවෙලා තියෙනවා . නමුත් ඒ සහනය තේ කර්මාන්තකරුවන්ට හෝ තේ දළු කඩන පුද්ගලයින්ට ලැබිල නැහැ. අපි ඉදිරියේදී මෙම තත්වය වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. තේ විතරක් නොවෙයි පොල්, රබර්, කුරුදු, ගම්මිරිස්, කජු මේ සියලු වගාවන් වෙනුවෙන් අපිට පුළුවන් විදියට කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ ආයතන සියල්ල සක්‍රීය කරනවා. සීනි කර්මාන්න ශාලා ටික තියෙන්නෙත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට. විශාල වගාබිම් තිබෙනවා. රජයේ වතු බදුගත් අය ඒ ඉඩම් තේ කර්මාන්තය වෙනුවට වෙනත් කර්මාන්තවලට යොදාගැනීම නිසාත් මේ අර්බුදය නිර්මාණය වී තිබෙනවා. අපි මේ සදහා නිවැරදි වැඩපිළිවෙළක් හදුනාගෙන තිබෙනවා. එය ඉදිරියේදී ක්‍රියාත්මක කර සහන දෙන්නයි සැලසුම. අපේ මේ වැඩසටහන සදහා ඕනෑම කෙනෙකුට අදහස් දෙන්න, යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් ඒ සදහා අවස්ථාවක් දෙන්න අපි සූදානම්. මේ සදහා උනන්දුවන අයගෙන් අපි ඉල්ලනවා මේ සදහා අදහස් ලබාදෙන්න කියා. එය අමාත්‍යාංශයට පැමිණ හෝ දුරකථන මගින් හෝ ලබාදිය හැකියි.

ආණ්ඩු පක්ෂයට තියෙන්නේ සුළුතර බලයක්. මේ තත්වය වෙනස්වෙන්න නම් මහ මැතිවරණයකට යා යුතුයි. ඊට පෙර වැඩකරන්න ඇත්තේ කෙටි කාලක්. මේ තත්වයන් හමුවේ ඉදිරි වැඩකටයුතු , සැලසුම් කරන ආකාරයට ක්‍රියාත්මක කළ හැකිද?

අපිට පුළුවන් සේවය මේ මාස තුනේ උපරිමයෙන් කරනවා. මැතිවරණයක් එයි කියල හිතාගෙන වැඩකරන්න අපි සූදානමකුත් නැහැ. නමුත් රටට ගැලපෙන ප්‍රතිපත්ති නිර්මාණය කරල ඒ තුළ අපිට කරන්න පුළුවන් කාර්යභාරය අපි කරනවා. අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ කාලය මාර්තු මාසයේ දෙවැනිදායින් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙනවා. මේ රටට ගන්න පුළුවන් හොදම විසදුම මේක. අද ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නෑ. මේක ඉතාමත්ම කෘත්‍රීම පාර්ලිමේන්තුවක් . ඒ වාගේම මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් පිළිබද චෝදනා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ජනතාව ඉන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න දෙසිය විසිපහම ගෙදර යවන්න ඕන කියන මතයේ. පාර්ලිමේන්තුවට අකුණු ගහන්න ඕන. හෙණ ගහන්න ඕන කියන මතවල විශාල පිරිසක් හිටියා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට තියෙන ජනවරම දැන් අහෝසි වෙලා . 2015 ජනවාරි 06 වැනිදාත් 2015 අගොස්තු මාසයේ පළවෙනිදාත් යම්කිසි ජනවරමක් ලබුණානම් ඒ ජනවරම පළාත් පාලන මැතිවරණයෙන් හා ඉන් පසුව පවත්වපු ජනාධිපතිවරණය යන දෙකෙන්ම ඒ ජනවරම අහෝසි වුණා . ඒ නිසා අපි විශ්වාස කරන හොදම විසදුම පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා එකග නම් මාර්තු මස දෙවැනිදාට පෙර හෝ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනවක් ගෙනැල්ලා විසුරුවාහැරීමේ කටයුත්ත කරන්න.

ඔබ එහෙම කිව්වට හැමෝම එම යෝජනාවට එකග කර ගැනීම ගැටලු සහතගතයි නේද?

මම දන්වා සමහර මන්ත්‍රීවරුන්ට එහෙම අත්සන් කර ගන්න බැරිකමක් තිබෙනවා. සමහර මන්ත්‍රීවරු දන්නවා මේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මහ මැතිවරණයට ආදේශ කළොත් අපි පාර්ලිමේන්තු මැතිවරණයකින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හැටකට අඩු සංඛ්‍යාවකට බහිනවා කියලා . ලැබිච්ච ප්‍රතිඵලය තුළ ජනතා විමුක්ති පෙරමුණට පවා මන්ත්‍රීධූර හයක් හිමිවන්නේ නෑ. ආසන තුනකට ඔවුන් සීමාවෙනවා. ඒ නිසා ඔවුන්ට සැකයක් ඇති. මම නම් හිතන්නෙ නෑ විශ්‍රාම වැටුප තමයි ගැටලුව කියා. විශ්‍රාම වැටුප කොහොමත් ලැබෙන්නෙ අවුරුදු පහකට පසු. අවුරදු හතර හමාරෙන් මේක හමාරවුවහොත් ලැබෙන්නේ නෑ. නමුත් ඔවුන්ට තියෙන්නේ විශ්‍රාම වැටුපට වැඩිය නැවත පාර්ලිමේන්තු ඒමේ ප්‍රශ්නයය. මම හිතනවා මේ ආකාරයනට මැතිවරණය පැවැත්වුවහොත් දිස්ත්‍රික්කයක එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අවම වශයෙන් මන්ත්‍රීවරු දෙන්නෙක්ට තමන්ගේ මන්ත්‍රීධූර අහිමි වෙනවා. දැන් මාතර දිස්ත්‍රික්කය ගත්තත් මන්ත්‍රීවරු තිදෙනෙක් පත්වී සිටිනවා. ආසන අටක් තියෙන එකක මේ ප්‍රතිඵලය ලැබෙනවා නම් ඒක දෙකකට බහිවි කියලා මම හිතනවා . සමහරවිට ආසන හතක් තියෙන එකක නම් ජනතා විමුක්ති පෙරමුණට එකක් හා එක්සත් ජාතික පක්ෂයට එකක් ලැබේවි. ගම්පහ දිස්ත්‍රික්කය ගත්තහම ඔවුන් ජයග්‍රහණය කරපු දිස්ත්‍රික්කයක්. නව දෙනෙක් පාර්ලිමේන්තුවට තේරීපත්වෙලා තියෙනවා. නමුත් මේ වතාවේ තුන්ලක්ෂ විසිපන්දහසක පරතරයකින් පරාජයට පත්වෙච්ච දිස්ත්‍රික්යේ අවම වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේදී මන්ත්‍රීවරු හතරදෙනෙකු ඔවුන්ට අහිමිවෙනවා. ඒ නිසා මන්ත්‍රීවරු හිතනවා ඇති ඉන්න පුළුවන්තාක් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියා. එක පැත්තකින් ඒක ගැන පුදුම වෙන්නෙත් නෑ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රාදේශීය සභා මැතිවරණය තියන්නත් බියක් දැක්වූවා. පළාත් සභා මැතිවරණය තියන්නත් බියක් දැක්වූවා. සමූපකාර ඡන්ද ටික පරාජයට පත්වෙනකොට සමූපකාර නිලවරණ ටිකත් කල්දාන තත්වයට පත්වුණා. ඒක නිසා මැතිවරණ නොතියා පුළුවන් තරම් ඇදගෙන යාම තමයි ඔවුන්ගේ ප්‍රතිපත්තිය.

දූෂණ අක්‍රමිකතා හේතුවෙන් ජනතාව බොහෝවිට කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න දෙසිය විසි පහම ගෙදර යවන්න ඕන කියලා.

ඒක ඇත්ත. මම හිතනව මේ පාර්ලිමේන්තුවේ රටට ගන්න තියන හොදම තීන්දුව තමයි ජනතාව කැමති නියෝජිතයින් පත්කරගන්න අවස්ථාව දෙන එක. දැන් අපේ කණ්ඩායම තුළත් දැනට ඉන්න ජනතා නියෝජිතයින් ඉදිරියේදී සිටිය යුතු ද කියා ජනතාව අතර මතයක් තියෙනවා. ඒ නිසා මම හිතනවා හොදම අවස්ථාව හොද ජනතා නියෝජතයින් පත්කරන්න ජනතාවට අවස්ථාව දියයුතු බව. අපිටත් ජනතාව අකමැතිනම් වෙන හොද කෙනෙක් මාතර දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගනීවි. ඒ නිසා අපි ජනතාව ඉදිරියට යන්න බය වෙන්නේ නැහැ.

විවිධ ප්‍රචාර සමාජගතවෙමින් තිබෙනවා. මෙම තත්වය අලුතින් පත්වූ රජයකට ඒ තරම් හිතකර නෑ මෙම තත්වය ඔබ දකින්නේ කොහොමද? 

මම ඒ ප්‍රශ්නය ගැන කතාකරන්නයි හිටියේ. මේ වෙලාවේ රටේ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය භාවිත කර සමාජ ගත කරන්න උත්සාහ කරනවා. මම දැක්කා විශේෂයෙන් පැහැරගැනීම් සම්බන්ධයෙන්, මාරුවීම් සම්බන්ධයෙන්, දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් මේ ආකාරයේ විවිධ වැරදි තොරතුරු මේ කාලයේ සංසරණය වෙනවා. නමුත් අපි එක දෙයක් පැහැදිලිව කියන්න ඕන මේ ආණ්ඩුව බලයට පත්වී තිබෙන්නේ දේශපාලන පළිගැනීම් කිරීමට නොවෙයි. නමුත් වංචා දූෂණ පිළිබදව නිවැරදි විදියට, පොලීසියේ තියෙන ආයතන, අධිකරණයේ තියෙන ආයතන සියල්ල පාවිච්චිකරලා නියමිත ක්‍රමවේදයකට අනුව දඩුවම් ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක විය යුතුයි කියන මතයේ අපි ඉන්නවා. සිරගතකරල නඩු අහන ක්‍රමවේදයක් නොවෙයි. නඩු අහල දඩුවම් ලබාදෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය යුතුයි. නීතිය හරියට ක්‍රියාත්මක වීම තුළ එම අසත්‍ය ප්‍රචාරවල සුලමුල දැන් හොදින් හෙළිවෙමින් තිබෙනවා.

පසුගිය කාලයේ ක්‍රියාත්මකවූ නඩු සම්බණ්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

මම නම් හිතන්නේ පසුගිය කාලයේ පරීක්ෂණ මෙහෙයවූ සියලු දෙනාගේ ගිණුම් පරීක්ෂා කළ යුතුයි. මොකද පසුගිය කාලයේ මේ පරීක්ෂණ කටයුතු කරන්න විවිධ දේ ලබාදුන්නා. අපේ ඒකාබද්ධයේ ඉන්න අයට විතරයි නේ සිරගෙදර උරුමවුණේ . නමුත් නඩුවලදි පවා විශේෂයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාගෙ නඩුවෙදි, ගාමිණී සේදර සෙනරත්ගෙ නඩුවෙදි නිදොස්කොට නිදහස ලැබුණා. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමාගෙ නඩුවෙදි තොරතුරු වෙනස් කරන්න කොහොමද කටයුතු කළේ කියා නිලධාරීන් කෙලින්ම කීවා . එය අධිකරණයේදී තහවුරු වුණා . ඒ නිසා මම හිතනවා මේ ආයතනවල විශේෂයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ පොලීස් දෙපාර්තමේන්තුවේ එෆ්.සී.අයි.ඩී. ආයතනයේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අයගේ ගිණුම් පරීක්ෂා කළොත් අර රවී වෛද්‍යාලංකාර නියෝජ්‍ය පොලිසිපත්තුමා කියපු දේවල්, සුහද ගම්ලත් මැතිතුමා කියපු දේවල්, දිල්රක්ෂි ඩයස් වික්‍රමසිංහ මැතිණියගේ හඩපටයෙන් මේ අනාවරණය වෙච්ච දේවල් ඔප්පුවෙයි. ඒ නිසා ඒ පිළිබද අපේ රජයේ අවධානය යොමුවිය යුතුයි කියා මා විශ්වාස කරනවා. ඒ වගේම අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ වන විට අවසන් කර ඇති ජනාධිපති පරීක්ෂණ වාර්තා සියල්ල මේ රටේ ජනතාවට ඉදිරිපත් කරන්න පරීක්ෂණ කටයුතු කරන්න අවශ්‍ය ක්‍රියාදාමය නිර්මාණය විය යුතුයි කියන මතයේ අපි ඉන්නවා.

හිටපු ජනාධිපතිතුමා නැවත ශක්‍රීය දේශපාලනයට සම්බන්ධවීමේ අදහස් පළවෙමින් තිබෙනවා. මෙම තත්වය ඔබ දකින්නේ කොහොමද?

ඕනෑම පුද්ගලයෙකුට දේශපාලනය කිරීමේ නිදහස හා අයිතිය තියෙනවා. අපිට ඒක උදුරාගන්න බැහැ. ඔවුන්ට අවස්ථාවක් ලබාදීම කියන්නෙ ජනතාවගේ කැමැත්තක් තියෙනවානම් ජනතාව ගතයුතු තීන්දුවක්. දේශපාලනයේ රැදිල ඉන්න ඕනද නැද්ද කියල තීරණ ගන්න ඕනත් එතුමන්ලා. නමුත් පසුගිය කාලවකවානුව තුළ සිදුවෙච්ච දේවල් දිහා බැලුවහම මෛත්‍රීපාල සිරසේන ජනාධිපතිතුමාට වුවත් ඒ වගකීම පැහැරහරින්න පුළුවන්කමක් නෑ. ඒ නිසා මම හිතනවා එතුමා මැතිවරණයකට ඉදිරිපත්වෙනවානම් ඒක එතුමාගේ කැමැත්ත.අපි බලාගෙන ඉමු ජනතාව මොනවගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ කියලා. නමුත් දේශපානය කිරීම ඕනෑම අයෙකුට ඒ නිදහස තිබෙනවා. අපිට ඒ අයිතිය උදුරාගන්න පුළුවන්කමක් නෑ.

ජයසිරි පේදුරුආරච්චි ගන්දර සමූහ

අලුත් ඩෙංගු භයානකයි

$
0
0
දෙසැ 20, 2019 01:00
සන්ධ්‍යා කරුණාරත්න

ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීමේදි වඩාත් වැදගත් වනුයේ අවදානම් අවස්ථාවට පත් වන රෝගීන් ඉක්මණින් හඳුනා ගැනීමය. උණ රෝගය වැලඳී දින දෙකකට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් මඟින් රෝගය හඳුනා ගත හැකිය. ඩෙංගු වෛරසය ශරීරගත වී ඇති බව තහවුරු කිරීම සඳහා සිදු කරන NS1 හා ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂාවෙන් ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ වෙන්කර හඳුනා ගත හැකිය. ඩෙංගු වෛරසයට ප්‍රභේද හතරක් පවතින අතර කිසියම් පුද්ගලයකු රෝගයට වරක් ගොදුරු වුවහොත් ප්‍රතිශක්තිය ඇති වනුයේ එම අදාළ ප්‍රභේදයට පමණක් නිසා ඒ පුද්ගලයා නැවත අනෙකුත් ප්‍රභේද මඟින් ආසාදනය විය හැකිය. නැවත වරක් ඩෙංගු රෝගය සෑදීමේදි එම පුද්ගලයා ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාව වැඩි වේ.

මේ වන විට ඩෙංගු රෝගය නවතම වේශයකින් කරලියට පැමිණ ඇති බවට වාර්තා වේ. 

එක් පුද්ගලයකු හතර වතාවක් ඩෙංගු රෝගයට ගොදුරු විය හැකිය. ඩෙංගු රෝගය ව්‍යාප්ත වන වෛරස් කාණ්ඩ හතරක් පවතින බැවිනි. කාණ්ඩ 01, කාණ්ඩ 02, කාණ්ඩ 03, කාණ්ඩ 04 ලෙස මෙම වෛරසය පුද්ගලයන්ට වැලඳේ. මේ දිනවල වෛරස් කාණ්ඩ 3 වැලඳුණු රෝගීන් වැඩිපුර වාර්තා වන බව වෛද්‍යවරු පවසති. රෝග ලක්ෂණයන්හි වෙනසක් නොවන අතර එකම රෝග ලක්ෂණ වාර්තා වීම මෙහි විශේෂත්වය වේ. කිසියම් කෙනකුට උණ රෝගය වැලඳී ඇති බව වාර්තා වුවහොත් ඩෙංගු බවට සැක කිරීමෙන් ජීවිත අවදානම වළක්වා ගත හැකි බව වෛද්‍යවරුන්ගේ මතය වේ. මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම සහ මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීම ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අරමුණ වී තිබේ. මදුරුවාට බෝ විය නොහැකි ලෙස පරිසරය පවත්වාගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් කළ හැකි දෙයක් නොවන අතර ඒ සඳහා ප්‍රජාවගේ දායකත්වය අත්‍යවශ්‍ය වේ. අපි සියලු දෙනාම එකා මෙන් පරිසරය පිරිසිදුව පවත්වා ගන්නේ නම් ඩෙංගු උවදුර වළක්වා ගත හැකිය.

ඩෙංගු වෛරසය ශරීරගත වූ මුල් අවස්ථාවේ බොහෝවිට රෝග ලක්ෂණ නොපෙන්වන අතර සාමාන්‍ය සුළු උණ, ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ යනාදි ලක්ෂණ පසුව රෝගියාගෙන් වාර්තා වේ. අසාමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය වාර්ථා වන්නේ ඉතා කලාතුරකිනි. ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස් වර්ගයේ ගැහැනු මදුරුවන් මඟින් ව්‍යාප්තවේ. මෙම මදුරුවන් තුළට වෛරසය ඇතුළු වන්නේ ඩෙංගු වෛරසය ශරීරගත වූ පුද්ගලයකුට දෂ්ට කිරීමෙනි. ආසාදිත ඩෙංගු මදුරුවකු දෂ්ට කරන ඕනෑම පුද්ගලයකුට ඩෙංගු රෝගය වැලඳීමේ අවදානමක් පවතී. පුද්ගලයකුගේ වයස, ප්‍රතිශක්තිකරණය සහ ඩෙංගු රෝගයේ ප්‍රභේද මත රෝගයේ ස්වාභාවය වෙනස් විය හැකිය. එසේම සාමාන්‍ය සුළු උණ මෙන්ම රක්තපාත උණ වැනි අවදානම් අවස්ථාවලට ද පත්විය හැකිය. මෙම අවදානම් අවස්ථා මුල් අවධියේදි සාමාන්‍ය උණෙන් වෙන් කර හඳුනා ගැනීමට අපහසුය. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්මණින් සුවපත් වන අතර අවදානම් අවස්ථාවලදි රෝහල්ගතව ප්‍රතිකාර ලැබිය යුතුය.

ඩෙංගු උණෙහි අවදානම් අවස්ථා හඳුනා ගැනීමට රෝග ලක්ෂණ දැන සිටීම වඩාත් වැදගත් වේ. උණ සමඟ හිසරදය හා ඇස් යට වේදනාව, මස්පිඬු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු පැහැ ලප හට ගැනීම, රුධිර වහන තත්ත්වයන් ඇති වීම යනාදි රෝග ලක්ෂණ පවතින්නේ නම් වෛද්‍යවරයකු වෙත යොමු වීම වැදගත්ය. ඩෙංගු බහුල ප්‍රදේශයක වාසය කිරීම හා අවට ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ නම් සහ රෝග ලක්ෂණ පවතින්නේ නම් එය ඩෙංගු බවට සැක කර ප්‍රතිකාරවලට යොමු විය යුතුය.

රුධිර පරීක්ෂාව

ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීමේදි වඩාත් වැදගත් වනුයේ අවදානම් අවස්ථාවට පත් වන රෝගීන් ඉක්මණින් හඳුනා ගැනීමය. උණ රෝගය වැලඳී දින දෙකකට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් මඟින් රෝගය හඳුනා ගත හැකිය. ඩෙංගු වෛරසය ශරීරගත වී ඇති බව තහවුරු කිරීම සඳහා සිදු කරන NS1 හා ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂාවෙන් ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ වෙන්කර හඳුනා ගත හැකිය. ඩෙංගු වෛරසයට ප්‍රභේද හතරක් පවතින අතර කිසියම් පුද්ගලයකු රෝගයට වරක් ගොදුරු වුවහොත් ප්‍රතිශක්තිය ඇති වනුයේ එම අදාළ ප්‍රභේදයට පමණක් නිසා ඒ පුද්ගලයාට නැවත අනෙකුත් ප්‍රභේද මඟින් ආසාදනය විය හැකිය. නැවත වරක් ඩෙංගු රෝගය සෑදීමේදි එම පුද්ගලයා ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාව වැඩි වේ.

ඩෙංගු වෛරසය ශරීරගත වන බොහෝ රෝගීන් සාමාන්‍ය උණ තත්ත්වයක් පෙන්නුම් කරයි. හොඳින් විවේක ගැනීම සහ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම එහිදී වැදගත්ය. උණ රෝගය වැලඳීමෙන් පසුව වෛද්‍යවරයා විසින් දින දෙකකට පසුව FBC පරීක්ෂාව කර රෝගියා රෝහල්ගත කළ යුතු ද යන්න තීරණය කරයි. එම FBC පරීක්ෂාව සාමාන්‍ය වුවත් පසුදින නැවත වරක් එය සිදු කළ යුතුය. ඩෙංගු රෝගී තත්ත්වයේ ඇති විය හැකි අවදානම් අවස්ථාවක් ලෙස ඩෙංගු රක්තපාත උණ හඳුන්වා දිය හැකිය. උණ සමඟ ඇති වන අනෙකුත් රෝග ලක්ෂණ බොහෝ විට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන නිසා ඩෙංගු රක්තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන්ගෙන් වෙන් කර හඳුනා ගැනීම මුල් අවධියේ පහසු නොවේ.

උණ බැස යාමත් සමඟ ප්‍රධාන ලක්ෂණය වන රුධිර වාහිනීවලින් පිටතට විශේෂයෙන් පෙනහලු ප්ලූරා පටල අතරට උදර කුහරයට ප්ලාස්මා තරලය කාන්දු වීම සිදු වේ. මෙවැනි දෙයක් සාමාන්‍යයෙන් උණ රෝගය වැලඳී තෙවැනි දිනයේ හෝ ඊට පසුව සිදු වන අතර දිනපතා සිදු කරන රුධිර පරීක්ෂාවන්හි වෙනස්කම් මඟින් හඳුනා ගත හැකිය. මෙසේ නොදැනුවත්කමින් අඛණ්ඩවම ප්ලාස්මාව කාන්දු වීමෙන් කම්පන අවස්ථාවට පත්වීමේ අවදානමක් පවතී. ඇතැම් රෝගීහු කම්පන අවස්ථාවට පත්වීමට පෙර අවදානම් ලක්ෂණ පෙන්නුම් කරති. එබැවින් මෙම අවදානම් ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත්ය.

අවදානම් ලක්ෂණ වනුයේ උදරයේ ඇති වන තද වේදනාව, නොනවත්වා වමනය පැවැතීම, අධික නිදිමත බව, නොසන්සුන් බව, අප්‍රාණික බව, රුධිරය වහනය වීම, පැය හයකට වඩා වැඩි කාලයක් මුත්‍රා පහ නොවීම හෝ පිට වන මුත්‍රා ප්‍රමාණය අඩු වීම යනාදියයි.

උණ වැලඳුණ විට වෙහෙසකර කටයුතුවලින් බැහැර වී හොඳින් විවේක ගත යුතුය. උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන් නියමිත කාලසීමාව තුළ පැරසිටමෝල් ඖෂධය ලබාදිය යුතුය. තද උණ පවතින්නේ නම් පිරිසිදු රෙදි කඩක් උණුසුම් ජලයෙන් පොඟවා රෝගියා තැවීම කළ යුතුය. වේදනා නාශක ඖෂධ NSAID's කාණ්ඩයේ ඖෂධ සහ ස්ටීරොයිඩ් භාවිතයෙන් උණ සහ ඇඟපත වේදනාව අඩු වුවත් එමඟින් ඩෙංගු රෝගයේ බරපතළ සංකූලතා ඇති විය හැකිය. තවද රුධිරය කැටි ගැසීමේ ප්‍රශ්න ඇති වන නිසා රෝගය උත්සන්න වී ශරීරයේ අභ්‍යන්තරය තුළ අධික ලෙස රුධිරය වහනය විය හැකිය. ඇස්ප්‍රීන්, ඩික්ලොෆැනැක් සෝඩියම්, මෙෆනමික් ඇසිඩ්, ඉබියුප්‍රොෆෙන් ඖෂධ වර්ග උණ රෝගයේදි භාවිතා නොකළ යුතුය.

රෝගය වැලඳී ඇති විට උණ හා වමනය නිසා ඇති වන විජලන තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කළ යුතුය. එහිදී තැඹිලි වතුර,‍ කැඳ, කිරි, ජීවනී, පළතුරු යුෂ යනාදිය පානය කළ යුතුය. ග්ලූකෝස් වැනි සීනි සහිත දියර කුඩා ප්‍රමාණයෙන් නිරතුරුවම දරුවන්ට ලබා දිය යුතුය. රෝගියා කැමති ආකාරයෙන් වරකට කුඩා ප්‍රමාණයක් බැඟින් අර්ධ ඝන සැහැල්ලු ආහාර වේල් කිහිපයක් ලබාදීම සහ තෙල් සහිත ආහාර ගැනීමෙන් වැළකිය යුතුය. අභ්‍යන්තර රුධිර වහනයන් හඳුනා ගැනීමට පහසු වන පරිදි රතු හා දුඹුරු ආහාර හා දියර වර්ග ගැනීමෙන් වැළකිය යුතුය. ගර්භණී මවුවරුන්, අවුරුද්දට වඩා අඩු දරුවන්, අධි බර සහිත රෝගීන්, වැඩිහිටි පුද්ගලයන්, නිදන්ගත රෝග සහිත පුද්ගලයන් අවදානම් ලක්ෂණ නොමැති වුවත් උණ රෝගය වැලඳී ඇත්නම් රෝහල්ගත වීම වැදගත් ය.

සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකූලතා ඇති වීමේ අවදානම අවම වේ. ඩෙංගු රක්තපාත උණ හා අසාමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්ථාවලට පත් වන රෝගීන්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්මාව අකර්මන්‍ය වීම, මොළයට සිදු වන බලපෑම් වැනි සංකූලතා ඇති වී කලාතුරකින් මරණය පවා සිදු විය හැකිය. පමා නොවී නිසි ප්‍රතිකාරවලට යොමු වීමෙන් මෙවැනි තත්ත්වයන් අවම කර ගත හැකිය.

ඩෙංගු මදුරුවා දෂ්ට කළ පසුව වෛරසය රෝගියාගේ ශරීරය තුළ වර්ධනය වන අතර එම කාලය තුළ කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වයි. මෙම බීජෞෂන සමය දින තුනක් හතරක් අතර කාලයක් පවතියි. ඉන්පසුව ඇති වනුයේ උණ අවධිය වන අතර එය දින 2 ත් 10 ත් අතර කාලයක් පවතියි. මෙම කාලය තුළ ඩෙංගු වෛරසය රෝගියාගේ රුධිරය තුළ පවතින නිසා මදුරුවකු දෂ්ට කළහොත් වෛරසය ඇතුළු වී රෝගය ව්‍යාප්ත විය හැකිය. සාමාන්‍යයෙන් ඊඩිස් මදුරුවන් දවසේ උදය කාලයේ හිරු පායා පැය කිහිපයක් යන තෙක් එනම් උදෑසන 7 සිට 10 පමණ වන තෙක් ද, සවස 4 සිට රාත්‍රී 7 වන තෙක් ද දෂ්ට කරයි. මෙම කාලවලදී දෂ්ටනවලින් වැළකිය යුතුය. අත්පා හොඳින් ආවරණය වන පරිදි ඇඳුම් ඇදීම, මදුරු දැලක් යට විවේකීව සිටීම, මදුරු විකර්ෂක ද්‍රව්‍ය භාවිතය කළ යුතුය. සෑම සතියකම විනාඩි 30 ක් තමා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වැය කරන්නේ නම් මෙම රෝගය අවම කර ගත හැකිය. 

මේ වන විට ඩෙංගු රෝගීන් 90,000 ක් සහ මරණ 90 ක් පමණ වාර්තා වී තිබේ. 2017 වසරට සාපේක්ෂව රෝගීන්ගේ වාර්තා වීමේ බොහෝ අඩුවක් දක්නට ලැබේ. වසරක් හැර වසරක් සාමාන්‍යයෙන් රෝගීන්ගේ වැඩි වීමක් සිදු වේ. මේ වසරේ අපේක්ෂා කළ තරම් රෝගීන්ගේ වැඩි වීමක් නොමැත. වසර 2017 දි රෝගීන් 196,000 ක් පමණ වාර්තා විය. 

බැක්ටීරියා පිළිතුර

ඩෙංගු රෝගය මර්දනය සඳහා වොල්බැකියා බැක්ටීරියාව භාවිතය රටට හඳුන්වාදීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් නියමු ව්‍යාපෘතිය ලබන පෙබරවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඕස්ට්‍රේලියානු රජයේ සහාය ඇතිව මෙම ව්‍යාපෘතිය මෙරට ක්‍රියාත්මක කෙරේ. කෘමීන්ගෙන් සියයට 60 ක් තුළ ස්වාභාවිකව ඇති වන බැක්ටීරියාවක් වන වොල්බැකියා රැගෙන යන මදුරුවන් පරිසරයට මුදා හැරීම මෙමඟින් සිදු කරයි. ඊඩිස් ඊජිප්ටයි මදුරුවාට වොල්බැකියා බැක්ටීරියාව ඇතුළු කිරීමෙන් මෙම රෝගය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව පාලනය කරයි. වොල්බැකියා ශරීරගත වූ මදුරුවන් මුදා හරින ලොව අංක එකේ නගරය වනුයේ ඕස්ට්‍රේලියාවේ කේන්ස් ය. වසර අටක් තිස්සේ එම ප්‍රදේශයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වී නොමැත. ඉන්දුනීසියාවේ යෝග්‍යකර්තාහි කළ අත්හදා බැලීමේ ප්‍රතිඵලවලින් පෙන්නුම් කර ඇත්තේ, කලින් අත්හදා බැලීම් නොකළ ප්‍රදේශයකට සාපේක්ෂව වොල්බැකියා රැගෙන යන මදුරුවන් මුදා හරින ප්‍රදේශවල රෝග ව්‍යාප්තියේ සියයට 76 ක අඩුවක් ඇති බවය. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණවලට අනුව මෙම ලෝක මදුරු මර්දන වැඩසටහන රටවල් 12 ක මිලියන 4.4 ක ජනතාවක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වේ. එය වසර 2023 වන විට ලොව පුරා මිලියන 100 ක ජනගහනයක් ඉලක්ක කරගෙන ව්‍යාප්ත කෙරේ.

ශ්‍රී ලංකාවේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදි ඩෙංගු මදුරු බිත්තර මෙරටින් ඕස්ට්‍රේලියාවට ගෙන ගොස් බැක්ටීරියාව ඇතුළු කිරීමෙන් පසුව නැවත එම බිත්තර මෙරටට ගෙනැවිත් මදුරුවන් පරිසරයට මුදා හරිනු ලැබේ. මෙසේ බිත්තර එරටට ගෙන යන්නේ ඕස්ට්‍රේලියාවේ පවතින තාක්ෂණය මෙරට නොපැවතීම නිසාය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස දෙකක් තෝරා ගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය සහ කොළඹ නගර සභාවට අයත් දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි ඩී 1 නම් වූ කොට්ඨාස දෙකේ මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. බැක්ටීරියාව ඇතුළු කළ මදුරුවන් සති 12 ක් 20 ක් කාලයක් ගත වූවාට පසුව නිදහස් කරයි. කාලයක් ගත වන විට වොල්බැකියා බැක්ටීරියාව ශරීරගත වූ මදුරුවන්ගේ ගහණය ඉහළ යාමෙන් ඩෙංගු වෛරසය තිබෙන මදුරුවන් නැතිව යාමක් සිදු වේ. ඕස්ට්‍රේලියාව, වියට්නාමය, බ්‍රසීලය, කොළොම්බියාව ඇතුළු රටවල් 12 ක මෙම ක්‍රමවේදය අනුගමනය කරයි.

විශේෂ ස්තුතිය - ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර, වෛද්‍ය නිලධාරි ඉන්දික වීරසිංහ මහත්වරුන්ට.

තුරඟුන් නැතිවත් තරගෙට වැටුණු තුරඟ තරග පිටිය

$
0
0
දෙසැ 20, 2019 01:00

දෙවන ලෝක යුද්ධයේ උණුසුම ශ්‍රී ලංකාවට දැනෙන්නට පටන් ගත් යුගයේ තුරඟ තරග පිටිය ගුවන් පථයක් බවට පරිවර්තනය විය. ජපනුන්ගේ ඇස නොගැටී මගහැරුණු එම ගුවන් පථය ජපනුන් ලුහුබැඳ ගොස් පහර දෙන්නට බ්‍රිතාන්‍යයන්ට මහෝපකාරී විය. යුද්ධය නිමා වූ පසු එය නැවත තුරඟ තරග සඳහා භාවිතා කළ නමුත් බ්‍රිතාන්‍ය පාලනයෙන් ස්වදේශීය පාලනය වෙත සංක්‍රමණය වීමෙන් අනතුරුව ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩා සඳහා ඉඩකඩ සැලසීම සහ ධෛර්යමත් කිරීම අඩුවී යාම නිසා තුරඟ තරග පැවැත්වීම අභාවයට ගොස් තිබේ.

ලෝක ඉතිහාසයේ ඈත ම කෙළවරකට දිවයන ක්‍රීඩාවක් වන තුරඟ තරග, වර්තමානයේ දී ද ලොව පුරා ව්‍යාප්ත වී තිබේ. ශ්‍රී ලංකාවේ කඳුකරය ජනාකීර්ණ වීම ඇරඹි 1840 පමණ කාල වකවානුවක ලංකාවට පැමිණියා යැයි සැලකෙන තුරඟ තරග කොළඹට සංක්‍රමණය වූ මුල් යුගයේ පවත්වා ඇත්තේ ගෝල්ෆේස් පිටිය ආශ්‍රිතව බව සඳහන් වේ. ගෝල්ෆේස් පිටියෙහි පැවැති භූ විෂමතා සහ පාරිසරික සාධක මත එය දිගින් දිගටම පවත්වාගෙන යාම අසීරු කාර්යයක් බවට පත් වෙමින් යන කාල වකවානුවක තුරඟ තරග ක්‍රීඩා සමාජය බිහිවී තිබේ. අනතුරුව ඉහත අභියෝගය ජයගනිමින් කුරුඳුවත්ත ප්‍රදේශයේ අක්කර 27 ක පමණ භූමි භාගයක් තණ පිටියක් බවට පත් කර ගනිමින් තුරඟ තරග පැවැත්වීම ආරම්භ විය. වත්මන් ලේඛනාරක්ෂක භූමිය, කොළඹ විශ්ව විද්‍යාලයේ කොටසක්, බ්ලූම්ෆිල්ඩ් ක්‍රීඩාංගනය ක්‍රීඩංගනය, රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණය යන සියලු ප්‍රදේශය එකල තුරඟ තරග පිටියට ඇතුළත් විය.

දෙවන ලෝක යුද්ධයේ උණුසුම ශ්‍රී ලංකාවට දැනෙන්නට පටන් ගත් යුගයේ තුරඟ තරග පිටිය ගුවන් පථයක් බවට පරිවර්තනය විය. ජපනුන්ගේ ඇස නොගැටී මගහැරුණු එම ගුවන් පථය ජපනුන් ලුහුබැඳ ගොස් පහර දෙන්නට බ්‍රිතාන්‍යයන්ට මහෝපකාරී විය. යුද්ධය නිමා වූ පසු එය නැවත තුරඟ තරග සඳහා භාවිතා කළ නමුත් බ්‍රිතාන්‍ය පාලනයෙන් ස්වදේශීය පාලනය වෙත සංක්‍රමණය වීමෙන් අනතුරුව ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩා සඳහා ඉඩකඩ සැලසීම සහ ධෛර්යමත් කිරීම අඩුවී යාම නිසා තුරඟ තරග පැවැත්වීම අභාවයට ගොස් තිබේ. 

අනතුරුව තුරඟ තරග පිටිය වෙනත් ආයතන සහ ක්‍රීඩා අවශ්‍යතා වෙනුවෙන් වරින් වර භාවිතා වෙමින් ගුවන් හමුදාව සහ යුද හමුදාවේ අවශ්‍යතා වෙනුවෙන් යොදා ගනිමින් ද එක් එක් ආයතන වෙතට සංක්‍රමණය වෙමින් ද පැවති අතර කෙමෙන් ජරාජීර්ණ ස්වභාවයකට පත් වෙමින් තිබිණි.

රජය සතු දේපළ සංවර්ධනය කරමින් ඒවායෙහි වාණිජ වටිනාකම වැඩි කර නිසි කළමනාකාරීත්වයකින් යුතුව නඩත්තු කිරීම මගින් උපරිම ඵල ප්‍රයෝජන ගැනීම සහ එයින් රජයට ශක්තිමත් ආදායමක් උත්පාදනය කර ගැනීමට හැකි බව වටහා ගැනීමෙන් කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ධුරය දැරූ 2011 වසරේ දී එතුමන් ගේ මඟපෙන්වීම යටතේ කොළඹ තුරඟ තරග පිටිය නවීකරණයට භාජන විය. වර්තමාන ක්‍රීඩා අමාත්‍යාංශ ගොඩනැගිල්ලට යාබදව ජාත්‍යන්තර මට්ටමේ රගර් ක්‍රීඩා පිටියක් බවට පත්ව සංවර්ධනය වී ඇති තුරඟ තරග පිටිය ආශ්‍රිත ප්‍රදේශය සියලු පහසුකම්වලින් සම්පූර්ණ වූ ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයක්, නිදහසේ කාලය ගත කරන්නට හැකි කලබලකාරී බවකින් තොර භූමි භාගයක්, නවීන සාප්පු සංකීර්ණයක්, විවිධ විශේෂ අවස්ථා සංවිධානය කිරීම සඳහා පහසුකම් සහිත භූමියක් ඇතුළු තවත් බොහෝ පහසුකම්වලින් සමන්විත වී තිබේ.

තුරඟ තරග පිටිය ආශ්‍රිත ප්‍රදේශයට සිය ක්‍රීඩා කෞෂල්‍ය ඔප්නංවා ගැනීම සඳහා පැමිණෙන තරුණ පිරිස් සහ නිදහසේ කාලය ගත කිරීම සඳහා පැමිණෙන බොහෝ පිරිස් නිතර දක්නට ලැබේ. අංගසම්පූර්ණ ආපන ශාලාව වෙත ආහාර පාන ගැනීම සඳහා අවට ආයතනවල සේවය කරන පිරිස්ද පැමිණෙති.

තුරඟ තරග පිටිය පිළිබඳව අදහස් දක්වන ගයාන් නවරත්න මහතා,

"ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යුගවල ගෘහ නිර්මාණ ශිල්පවලට අනුව ඉදිකර තිබූ මෙම ගොඩනැගිලි පෞරාණික වශයෙන් වටිනාකමක් ඇති දේවල් වුවත් මතක ඇති කාලයක සිට මේ ස්ථානය බෙහෙවින් ජරාජීර්ණව පැවතුණා. මෙහි සිදු වූ මූලිකම යහපත මේ භූමිය ඉතා ම සෞන්දර්යාත්මක වටිනාකමකින් යුක්ත ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම. එසේම තරුණ තරුණියන්ට ක්‍රීඩාව සංවර්ධනය කරගන්නට අවශ්‍ය කරන පහසුකම් මෙහි සූදානම් කොට තිබෙනවා. ක්‍රීඩා උපදේශනයත් මෙහිදි ලබා ගන්න පුළුවන්. මෙම රගර් ක්‍රීඩාංගනය ඉදිරිපස ආහාරපාන සහ අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය මිල ගැන දී ගැනීම සඳහා නවීනපහසුකම්වලින් යුක්ත සාප්පු සංකීර්ණයක් පිහිටා තිබීම මෙම ස්ථානයට ජනතාව ආකර්ෂණය කරගන්නට අවශ්‍ය පසුබිම සකස් කරනවා."

තුරග තරග පිටිය ආශ්‍රිතව නවීනතම හඳුන්වාදීමක් පිළිබඳව විශේෂ අවස්ථාවක් සංවිධානය කරමින් පසු වූ සාරංග දිසානායක සහ විහංගා විජේසූරිය,

"අපි අද දවසේ මේ ස්ථානයේ ලංකාවේ පළමු ෆැෂන් ට්‍රක් එක හඳුන්වා දීමේ වැඩසටහන සූදානම් කර තිබෙනවා. අපි ඒ සඳහා මේ ස්ථානය තෝරා ගත්තේ මෙහි ඇති අතිශයින්ම නිදහස් අවකාශය සහ මේ ස්ථානය වැඩි තරුණ තරුණියන් පිරිසක් නිරන්තරයෙන් ම සහභාගි වන රැඳී සිටින ස්ථානයක් නිසා. කුඩා දරුවන්ට ක්‍රියාකාරකම් කිරීම සඳහා අවශ්‍ය කරන පහසුකම් ද මෙහි සකස් වී තිබෙන නිසා බොහෝ දෙනෙක් පවුලේ සාමාජිකයන් සමඟ මේ ස්ථානයේ නිතර ගැවසෙනවා. ඒ නිසා මෙවැනි අවස්ථා සංවිධානය කරන්නට මෙතන බොහොම හොද තැනක් ලෙස අපි දකිනවා.මෙවැනි ස්ථාන අභාවයට යන්නට ඉඩ නොදී මෙලෙස සංවර්ධනය කිරීම හොඳ ආයෝජනයක්."

දිල්රූ ජයසේකර 
ඡායාරූප ශාන් රඹුක්වැල්ල

රට හදන්න එකතු ‍වෙන්න

$
0
0
දෙසැ 20, 2019 01:00

රටට නව ජනාධිපතිතුමකු පත්වී ඇත. නව අගමැතිවරයකු පත්වී ඇති අතර, පාර්ලිමේන්තුවට විපක්ෂ නායකවරයකු ද පත්වී ඇත. ඒ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුය.

ජනපතිවරණය සාමකාමීව පැවැත්විණි. පශ්චාත් ජනපතිවරණ කාලය ද සාමකාමීව ගෙවීගියේය. අභිනව කැබිනට් ඇමැති මණ්ඩල‍යක් ද රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු ද පත්වූහ. නව කථානායකවරයකු පත්වීම අවශ්‍ය බව සමහරු යෝජනා කරති. හිටපු අගමැතිවර රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කර තිබුණි.

පාර්ලිමේන්තු මැතිවරණයක් ද ළඟ එන බව පැවසේ. මේ සියලු දේ අතරතුර නව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළක් අනුව කොළඹ හා සෙසු නගරවලදී පරිසරය පිරිසිදු කිරීමේ වෑයමක් මේ දිනවල මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරයි. එය අගය කටයුතුය.

රාජ්‍ය ආයතනවල රාජ්‍ය නායකයන්ගේ පින්තූර වෙනුවට රාජ්‍ය ලාංඡනය ස්ථානගත කිරීමක් ද දැකගන්නට ඇත.

දැන් ජනපතිඳුන්, අගමැතිඳුන් හා ඇමැති මණ්ඩලය ඉදිරියේ අභියෝග සමූහයක් ද ඇත. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අය සොයාබලා ඊට වගකිවයුතු අයට නීති මගින් කටයුතු කිරීම ද අවශ්‍යව ඇත. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ නියෝජිතයකු ද ඇතුළත් ස්වාධීන කොමිසමක් පත්කිරීමට නියමිතව ඇත. රට සසලකළ ඉකුත් අප්‍රියෙල් 21ට යෙදුණු පාස්කු ප්‍රහාරයේ භීතිය තවම වියැකී නොගිය සෙයකි. එහි වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට ද ඇත.

රට අරාජික ‍ නොවන අයුරින් නායක කාරකාදින් තමන් යටතේ සිටින පිරිස හසුරුවා ගැනීම ද අභියෝගයකි. මහජන සුබසෙත පිණිස කටයුතු කිරීම මහාම අභියෝගයයි. ජනාධිපතිවරණයේදී රටට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව කටයුතු කිරීමට අවස්ථාව දැන් ලැබී ඇත.

නව විපක්ෂ නායකවරයාට ද බැරෑරුම් කාර්යභාරයක් පැවරෙනු ඇත. එතුමා පත්වූ පසු කෙසේ කටයුතු කෙරෙනු ඇතැයි තවම හෙළිදරව් වී නැත. ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්ෂ නායකවරයාට විශාල වගකීමක් පැවරේ. රජය කරවන නායකයන් කරන සෑම දෙයකම වැරදි දැකීම අරමුණ නොවිය යුතුය. හොඳ දේ ඇගයීමත් අඩුපාඩු ඍජුව පෙන්වා දී නායක කාරකාදින් නිවැරදි කිරීමත් විපක්ෂ නායකවරයාගේ වගකීම් අතර ප්‍රධාන විය යුතුය.

මහජනතාවගේ සුබසෙතට ප්‍රමුඛතාව දීම මධ්‍යස්ථ මතධාරී කාගේත් ප්‍රාර්ථනයයි. බෞද්ධ බහුතරයක් වසන රටක් හැටියට ඊට ප්‍රමුඛත්වයත්, සෙසු ආගම්වලට නිදහසේ ඒ ඒ ආගම්වල කටයුතු කරගෙන යාමට ඉඩකඩ සලසාදීමත් අපේක්ෂා කෙරේ.

රටේ අභිවෘධිය මුල් තැනෙහිලා රටේ නායකත්ව දරන පිරිස් කටයුතු කරත්වා! ඒ අපේ ප්‍රාර්ථනයයි!

ඩික්සන් කෝංගනීගේ 
රාගම

 

කොළඹ වාහන තදබදයට විසඳුමක්

$
0
0
දෙසැ 20, 2019 01:00

කොළඹ නගරයට දිනකට රථවාහන ලක්ෂ 5 – 8 අතර ප්‍රමාණයක් ඇතුළුවේ. එම රථ ප්‍රමාණයෙන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයක් නැවත කොළඹ නගරයෙන් පිටවී යන්නේ පැය 10 – 12 පමණ කොළඹ නගරය තුළ රැඳී සිටීමෙන් පසුය. නගරයට ඇතුළුවීමේදී දැනට භාවිතාකරන මාර්ග බොහෝමයකම ඇත්තේ දෙපසට මන්තීරු 02 හෝ 04 කි. මෙය දියුණු වෙනත් නගරවල 06 – 08 අතර අගයකි. තිබෙන මාර්ග පුළුල් කිරීමට නොහැකිවී ඇත්තේ මාර්ග දෙපස විශාල ගොඩනැගිලි නිසි ක්‍රමවේදයකින් තොරව ඉදිකර ඇති නිසාය. දැනට තිබෙන මාර්ග තදබදයට කඩිනම් විසඳුම් ලබාදීමේදී මෙම ගොඩනැගිලි ඉවත්කර, මාර්ගවලට ඉඩ ලබාගැනීම ද දුෂ්කර වූ කාර්යයකි. තිබෙන එකම විසඳුම වන්නේ පවතින මාර්ග තුළ කොන්ක්‍රීට් හෝ ලෝහ කණු සිටවා එක් මාර්ගයක් උඩින් තවත් මාර්ගයක් ඉදිකිරීමයි. එලෙසම, මුහුද ගොඩකර නගර ඉදිකරන ලෙසටම කොළඹ සිට මීගමුවට හා කොළඹ සිට පානදුරට කණුමත ඉදිවන මාර්ගයක් ඉදිකළ හැකිය. (මෙය අධිවේගී මාර්ගයක් ‍නොවිය යුතුය) කොළඹ නගරය මැදින් දිවෙන කැලණිවැලි දුම්රිය මාර්ගයේ ද ස්ථාන කිහිපයකින් වැටී ඇති මාර්ගවල දැඩි වාහන තදබදයක් පවතී. එහි හොඳම උදාහරණය ආයුර්වේද වටරවුමයි. විනාඩි 15 කට වරක් දුම්රියක් යාමත්, පරිපාලන නගරය, කෝට්ටේ ප්‍රදේශයට ගෙනයාමත් නිසා වැඩිම මාර්ග තදබදය ඇත්තේ පාර්ලිමේන්තු මාර්ගය කේන්ද්‍රීයව වේ. එයිනුත් වැඩිම මාර්ග තදබදය තිබුණේ රාජගිරිය හා බොරැල්ල නගරය අතරයි. සමීක්ෂණ මත අධිකම වාහන තදබදයක් ඇත්තේ ආයුර්වේද වටරවුමෙහිය.

මෙයට විසඳමක් ලෙස රාජගිරියට උඩින් ඉදිකළ ගුවන් පාලමෙන් වැඩි පිහිටක් නොලැබුණි. ඇත්තවශයෙන්ම කළයුතුව තිබුණේ එම ගුවන් පාලම කොළඹ කාසල් රෝහල අසලින් ආරම්භ කර කැලණිවැලි දුම්රිය මාර්ගයට ඉහළින් දේවිබාලිකා විද්‍යාලය අසලින් නිමාවන ගුවන් පාලමක් ලෙස ඉදිකිරීමයි.

මෙම ගුවන් පාලම යකඩ සැකිළිමත ඉදිකළ හැකිය. නවීන තාක්ෂණය භාවිතා කරමින් ඉදිකරන්නේනම් මාස 03ක් වැනි කෙටි කාලයකින් (කොටස්කර නැවත සවිකරන ක්‍රමයට) සවිකිරීමට හැකි ඉංජිනේරු මහතුන් ඕනෑතරම් ශ්‍රී ලංකාව තුළ ඇත. එලෙසම කාසල් රෝහලට නව පිවිසුම් මාවතක් ආයුර්වේදය අසල ඇති සරසවි පටුමග හා පූජ්‍ය පැල්පොළ විපස්සි හිමියන්ගේ විහාරය අසලින් තවත් මීටර් 100 පමණ ගොස් අවසන්වන මොඩල් ෆාම් මාර්ගය (මෙම මාර්ගය ඉංග්‍රීසි පාලන කාලයේ දී පැවති මාර්ගයකි) යා කිරීමෙන් සිදුකළ හැකිවේ. එහිදී කොළඹ කාසල් කාන්තා රෝහලට ඇතුළුවන හදිසි ගිලන් රථ සඳහා ඉඩහසර ඇතිවේ. මාර්ග තදබදය නිසා රෝගීන්ට කරදර ඇතිවන්නේ ද නැත. පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවල, පාර්ලිමේන්තු මාර්ගය මඟහැර කාසල් රෝහලට රෝගීන් ගෙනඒමේ පහසුවද ඇතිවේ. දැනට මෙම යෝජිත මාර්ගයේ බොරැල්ල කනත්ත පිටුපසින් නාරාහේන්පිට මාර්ගයට මාර්ගය ඉදිකර ඇත. නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ හීන්ඇළට සමාන්තර මාර්ගයේ ඉදිකිරීම් මේ වනවිට අවසන්වී ඇත. එම මාර්ගය හීන්ඇළට සමාන්තරව කොළඹ ආයුර්වේද රෝහල ආසන්නයෙන් ගුවන් පාලමක් මඟින් (මින් පෙර ද ලිපි මඟින් පෙන්වා දී ඇත.) කොලොන්නාව දක්වා ගෙනයා හැකිය. මෙම යෝජිත මාර්ගය ද කඩිනම් කළ හැකිනම් එය බේස්ලයින් මාර්ගයට තිබෙන විකල්ප මාර්ගයවී කොළඹ වාහන තදබදය අඩකින් පමණ අඩුකළ හැකිවේ. මාර්ගය ඇළට සමාන්තරව ඉදිකිරීමෙන් අත්පත්කරගතයුතු නිවාසද ඉතාමත් සීමිතය. මෙලෙසම නුගේගොඩ දුම්රිය නැවතුම සිට රේල්පාරට සමාන්තරව කණුමත ඉදිවන මාර්ගයක් මඟින් නාරාහේන්පිට දක්වාත් එතැන් සිට දෙමටගොඩ බේස්ලයින් මාර්ගය දක්වාත් නව මාර්ගයක් ද කඩිනමින් ඉදිකළ හැකිනම් ඉතාමත් පහසුවෙන් කොළඹ නගරයට ප්‍රවේශවීම, නැවත පිටවීම කළහැකිවනු ඇති අතර, දහස් ගණනක මිනිසුන්ගේ මිනිස් - පැය ප්‍රමාණයක් ඉතිරි කර එය රටේ දියුණුවට ද යෙදවිය හැකි බව මාගේ හැඟීමයි.

ඉන්දික රුවන් හේවගේ

 

ගබ්සා නීතිය ගැන අදහසක්

$
0
0
දෙසැ 20, 2019 01:00

ගබ්සා කිරීම යනු ස්වභාවයෙන් සිදුවන ගබ්සාව නොව කෘත්‍රිමව ගර්භයක් ශරීරයෙන් ඉවත් කිරීමයි. ශ්‍රී ලංකාවේ ගබ්සා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මවගේ ජීවිතය බේරා ගැනීමට ගර්භය ඉවත් කිරීම හැර අනෙකුත් අවස්ථාවල ගබ්සාව ලංකාවේ නීතියට අනුව නීතිවිරෝධී ක්‍රියාවකි. ලෝකයේ අනෙකුත් රටවල නොයෙකුත් හේතුන් මත ගබ්සා නීතිය ලිහිල් කොට තිබේ. නමුත් ලංකාව තුළ සදාචාරාත්මක ආගමික පදනම ගබ්සාව නීති විරෝධී ක්‍රියාවක් බවට පත්ව තිබේ. එසේ වුවද ලංකාව තුළ දිනකට නීති විරෝධී ගබ්සා 800 – 1000 අතර ප්‍රමාණයක් සිදුවන බව වාර්තා වී ඇත.

ගබ්සා කිරීම සම්බන්ධයෙන් ලංකා නීතිය සංශෝධනය වීම කාලීන අවශ්‍යතාවක් වී තිබේ. සමාජය තුළ නීති විරෝධී ගබ්සා හේතුවෙන් හා අනෙකුත් හේතු සාධක මත සමාජයේ පැන නැ‍ඟෙන ගැටලු හා මානුෂික හේතු මෙම සංශෝධනයට හේතු වනු ඇත. ලංකාවේ ගබ්සා නීතිය අනුව දූෂණය වූ කාන්තාවන්ට, ව්‍යභිචාරයට ලක් වූ ගැහැනු ළමයින්ට හා ජීවත් කිරීමට බැරි ගර්භයක් හිමි කාන්තාවට තම පාලනයෙන් පිට හේතුන් මත ගැබ් ගැනීම සිදු වන අවස්ථාවල දී ගබ්සා කිරීමට නීතියෙන් අවසර නොමැත. කෙසේ වුවත් ලංකාව තුළ ගබ්සාව පිළිබඳ දැඩි නීති පැවැතිය ද දරු ගැබ ගර්භයෙන් ඉවත් කිරීමට අවශ්‍ය කාන්තාවන් ගබ්සා කිරීමට යොමු වේ. මෙම නීති විරෝධී ගබ්සා හේතුවෙන් කාන්තාවට හා සමාජයට විශාල බලපෑමක් සිදුවී ඇති බව පෙනී යයි.

ඒ අනුව ලංකාවේ ගබ්සාවන් සිදු කර ගැනීමට බහුලව පෙලඹෙන්නේ අඩු ආදායම් පවුල්වල කාන්තාවන් බව වාර්තාවලින් අනාවරණය වී තිබේ. එහිදී ගබ්සා කිරීමට විශාල මුදල් ගෙවීමට නොහැකි එම කාන්තාවන් අනාරක්ෂිත ගබ්සා කිරීමේ ස්ථානවලට යෑමට පෙලඹ සිටියි. එම ස්ථානවල නීතිවිරෝධී ගබ්සා සිදු කරන අතර, ඒ පිළිබඳ පුහුණුවක් නොමැති පුද්ගලයන් විසින් නුසුදුසු හා හිතකර නොවන තත්ත්වයන් තුළ මෙම ගබ්සා සිදු කරයි. ඒ හේතුවෙන් කාන්තාවන් විශාල වශයෙන් පීඩාවට ලක්වෙයි. එහිදී ලංකාවේ කාන්තාවන් ගබ්සා කිරීම හේතුවෙන් වසරකට 250 ක් පමණ මිය යන බව සංඛ්‍යාලේඛනවලින් පෙනී යයි. තවද අනාරක්ෂිත ගබ්සාවල අහිතකර බලපෑමෙන් කාන්තාවන් නොයෙකුත් අතුරු ආබාධයන්ට ගොදුරු වේ. එනම් ගබ්සා හේතුවෙන් රක්තපාතය, කම්පනය, ශරීරයට විෂබීජ ‍ඇතුළුවීමෙන් සිදුවන ආසාදනය වැනි දේවල් නිසා කාන්තාවන් බරපතළ අයුරින් රෝගාතුර වන අතර ඇතැම් කාන්තාවන් දිගුකාලීනව ශ්‍රෝණිගත ආසාදනයන්ට ගොදුරුවීමක් හා වඳභාවයට පත්වන අවස්ථා දැක ගත හැකි ය.

ලංකාවේ ගබ්සා නීතියට අනුව ස්ත්‍රී දූෂණය හා ව්‍යභිචාර, කළලයේ බරපතළ විකෘතිතාව, පවුල් සැලසුම් ක්‍රම අසාර්ථකවීම වැනි අවස්ථාවලදී ඇතිවන ගැබ් ගැනීම් ඉවත් කිරීමට හැකියාවක් නොමැතිවීම ද ගැටලු රැසකට හේතුවේ. එමෙන්ම දූෂණයට ලක්වූ කාන්තාවක් හා ව්‍යභිචාරයට ලක් වූ ගැහැනු දරුවන් ගැබ් ගැනීම සිදුවන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවය මත නොවේ. නමුත් එහිදී ස්ත්‍රී දූෂණයට ලක් වූ කාන්තාවකට වෛර කරමින් දරුවකු බිහි කිරීමට සිදු වන අතර, ව්‍යභිචාරයට ලක් වූ දරුවන්ට සමාජයේ නින්දා අපහාස මැද ජීවිතය ගතකිරීමට සිදුවේ. එමඟින් සමාජ ගැටලු රාශියක් පැන නැ‍ඟේ.‍

අද වන විට ලංකාවේ ගබ්සා නීතිය ලිහිල් කර යුතු බවට මතිමතාන්තර පවතී. නමුත් ගබ්සාවන් කිරීමට වඩා යෝග වන්නේ අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීම අවම කිරීමයි. ඒ සඳහා ලංකාව තුළ විධිමත් ලිංගික අධ්‍යාපනයක් අත්‍යවශ්‍යවේ. එසේ වුවද ලංකාවේ ලිංගික අධ්‍යාපනය ගත්විට අනවශ්‍ය දෙයක් බවට පත්වී තිබේ. බොහෝ අවස්ථාවලදී ගුරුවරු එම පාඩම් ඉගැන්වීමට මැළිකමක් දක්වයි. ලිංගිකත්වය පිළිබඳ කතා කිරීමට යොදා ගන්නා වචන පවා භාවිතා කරනුයේ ඉතා සීමිතවය. තවද ඒ තුළින් දරුවාගේ කුතුහලය ඇවිස්සෙනු ඇත. නමුත් විධිමත් ලිංගික අධ්‍යාපනය තුළින් ලිංගිකත්වය ගැන පුළුල් අවබෝධයක් ලැබෙන මෙන්ම ඒමඟින් කුතුහලය ඇති ‍නොවන අතර තම ආරක්ෂාව සලසවා ගැනීමට ඉගෙන ගනු ලබයි. තවද ලිංගික අවශ්‍යතාවන් පාලනය කිරීමට අවබෝධයක් ලැබේ. ඒ’ මගින් අනවශ්‍ය ගැබ් ගැනීම් පාලනය කර ගැනීමට හැකියාවක් ලැබේ.

මේ අනුව ලිංගික අධ්‍යාපනය ලංකාව තුළ විධිමත් ලෙස ඉගැන්වීම තුළින් ගබ්සා නීතිය ලිහිල් වීමට අවශ්‍ය ඉඩකඩ හා නීතිවිරෝධී ගබ්සාවන් සිදු කිරීමට ඇති අවකාශය අවහිර වනු ඇත.

තිමාලි 
කස්තුරිආරච්චි

පණු බෙහෙත

$
0
0
දෙසැ 20, 2019 01:00

මා පානදුරෙන් කොළඹ යන බසයකට ගොඩවූයේ මාගේ පෞද්ගලික උවමනාවකටය. මා ඉදිරිපිට අසුන්ගෙන සිටියේ ඉතාම රූමත් තරුණියකි. මගේ වම්පස සිටියේ මහලුවය‍සේ මහත්මයෙකි. තරුණියගේ දකුණුපසින් සිටියේ ඊටම නොදෙවෙනි කඩවසම් තරුණයෙකි. ඉහත කී තරුණිය දෙස කිහිපවරක් නෙත් යොමු කළ තරුණයා ඇය සමඟ මදක් සිනහවූ අතර, සුන්දර සිනහවකින් තරුණිය පිළිතුරු දුන්නාය. මෙයින් ප්‍රමෝදයට පත් තරුණයා “ඔයා කොහාට ද යන්නෙ...”

තරුණිය විලි‍ෙයන්මෙන් ඇඹරෙමින්...

මම පිටකොටුවට යනවා...

හරි හොඳයිනෙ... මාත් පිටකොටුවට තමයි යන්නෙ... තරුණයා ප්‍රතිචාර දැක්වීය. තරුණයා නිමක් නැති ප්‍රශ්න අසනවට දැන් දැන් තරුණියගේ මුහුණ වෙනස් වෙමින් තරමක කෝපයක් සිත් තුළ නලියමින් තිබෙන බැව් පිටුපස සිටි අප දෙදෙනාට දක්නට ලැබුණි. බොහෝ දේවල් තරුණියගෙන් අසා අන්තිමට මෙසේ ඇසීය. නංගි... නංගිගෙ වයස කීය ද? ඇයි? මට පණු බෙහෙත් දෙන්න ද? කියා තරුණිය වේගයෙන් ඇසුවාය.

පිටුපස සිටි අප දෙදෙනාට පමණක් නොව බසයේ සිටි කිහිපදෙනකුට මෙය ඇසී මේ දෙදෙනා දෙස නෙත් යොමු කළ අතර, පිටකොටුව ප්‍රවේශපතක් ගත් ඉහත කී තරුණයා ගල්කිස්ස මංසන්ධියෙන් බැස ගියේ මුහුණ බිමට හරවාගෙනය.

වඳුරාමුල්ලවත්තේ - කලාභූෂණ 
ලයනල් ජයලත්


මේ රැල්ල හරි මදි

$
0
0
දෙසැ 20, 2019 01:00

දරුවනේ සුදු ගවුම කියන්නේ හරියට මනාලියක ගේ වේල් එක වගේ"

ජීවිත කාලෙටම එකයි. ඒ වගේම පිවිතුරුයි.එදා අපි ඉගෙන ගත්තේ එහෙමයි.

ඒත් ඒක අද විලාසිතාවක් වෙලා. අලුත්ම ට්‍රෙන්ඩ් එක අංකල්ලා ඇන්ටිලා ටික පුංචි එවුන්ගේ පාසල් ඇඳුම් ඉස්සීමය. එයත් දණකට දිග ගවුම් කෑල්ලෙන්ද,කඩා හැළුණු ඉණ පටිවලින්ද, පිළිවෙලකට නොගෙතු කොණ්ඩ කරල් වලින්ද, ආවට ගියාට දැමු.ටයිපටියෙන්ද යුතුවය.

උදේ අට පහේ රැකියාවෙන් නැතිනම් හර බැර කරපු අය වැය පියෝපු කාර්‍යබහුල මනසින් මිදිලා දරුවන් සමඟ ආලින්දය ට ගොඩවන මාපියන් ට නාට්‍යක් රසවිඳින්නට වන්නේ නැත.එය බලා ලේ රත්කර ගන්නවාක් මෙන්ම පොඩි එවුන්ටද බැන ඉක්මනින් නින්දට යවන්නේ නාට්‍යය නිෂ්පාදකවරුන්ගේ,අධ්‍යක්ෂකවරුන්ගේ මාපියන් සිහිපත් කරමිනි.

අද අලුත් ම කලාව වී ඇත්තේ සුදුසු කල සහකරුවන් සොයාගෙන විවාහ වීම දක්වා කතා මාලාව ගොඩනැගීම නොවේ .සාමාන්‍ය පෙළ -උසස් පෙළ ලියන්නටත් පෙර පෙම්වතුන් තෝරා වෙන්කර ගැනීමය. ඒ සුදු ඇඳුම ඇතුළත ගොඩනැගිය යුතු පුංචි එකා වෙනුවට පෙම්වතෙකුගේ චරිතය මතුකර ඔවුන් සමාජයට ලබා දෙන්නට යන පූර්වාදර්ශය කුමක් විය යුතුද යන්න සැක සහිතය .

දරුවා තුළට අධ්‍යාපනය කා වද්දන්නට නම්,

ප්‍රායෝගිකව පාසල් ජීවිතය පෙන්වා දීමට නම් සුදු ඇඳුම ඇඟලාන්නේ නොදැක්කා සේ නිහඬ විය හැකිය. එහෙත් සිදුවන්නේ පංති කාමරය ඇතුළත ගණිත ගැටලු විසඳනවා වෙනුවට පෙම්පත් හුවමාරු වීමය. පාඩමට ඇහුන්කන් දෙනවා වෙනුවට පෙම්වතුන් එකිනෙක බල අනිම්සලෝචනය වැඩීමය. බලන දරුවාට අනේ එහෙමත් පුලුවන් ද යන මානසිකත්වය ඇති කරන මේ පුහු ටෙලි පෙළ අප්‍රසන්නදායකය.

දරුවන් ට නීතී සංග්‍රහය ම දමා නිවසින් බැහැර කරන මාපියනි, නුඹත් දරුවන් සමඟ මේ විකට නිශ්පාදකවරුන්ගේ අධ්‍යක්ෂකවරුන්ගේ කතා මාලා නරඹනවානම් ඉතා ඉක්මනින් ඔබට මාමණ්ඩියෙකු හා නැන්දම්මෙකු වීමටත් සීයෙකු හා මිත්තණියකු වීමටත් වරම හිම්වෙනු ඇත.

සංස්කෘතික සභ්‍යත්වය ළමා මනස විකුර්ති කරන මේ අඳ බාල නිර්මාණ පිළිබඳ නිසි බලධාරීන්ගේ ඇස යොමුවිය යුතු අතර රටේ සංස්කෘතිය ,සදාචාරය ගොඩනගන පූර්වාදර්ශය රූපවාහිනී නිපැයුම් පමණක් ඉදිරිපත් කළයුතුමය.එයින් මානසික බෙලහීන දරුවන් සමාජගත නොවනු ඇත. මේ වගකිවයුත්තන්ගේ අවධානය පිණිසයි.

නිලුෂා දිල්රුක්ෂි 
ගණේමුල්ල.

පෙරදිග ධාන්‍යාගාරයට ෆේස්බුක් මෙහෙයුමක්

$
0
0
දෙසැ 20, 2019 01:00

“මම අවුරුදු විස්සකට පස්සෙ කුඹුරකට බැස්සෙ අද මේ වැඩේට මට ලොකු ආශාවක් තියෙනවා මෙතැන ඉන්න කිසිම කෙනෙක් පුද්ගලිකව හඳුනා ගත් අය නොවෙයි. මුහුණුපොත හරහා සම්බන්ධ වුණ අය. ලොකු සතුටක් විතරක් නොවෙයි මට හිතෙනවා අපි රට වෙනුවෙන් ලොකු වැඩක් පටන් ගත්ත කියලා. අපිට විතරක් මේ වැඩේ කරගෙන යන්න බැහැ. මම හැමෝටම කියනවා මේ විදිහට එකතු වෙලා වැඩ කරන්න කියලා. අපේ රට හදන්න පුළුවන් වෙන්නෙ තනිවම වැඩකරල නොවෙයි.එකතු වෙලා වැඩ කළ යුතුයි. ඒ ආදර්ශය තමයි අපි ලබා දෙන්නෙ ඇත්තෙන්ම අපේ තරුණ කණ්ඩායම් එකතු වෙන්න පුළුන්නම් රට ඉස්සරහට අරන් යන්න පුළුවන්.

කුඹුරක් අස්වැද්දීම යනු සිය දහසකගේ කුස ගිනි නිවීමකි. අතීතයේ සිටම කුඹුරු අස්වද්දා ඇළවේලි සකස් කිරීමත් වැව් කරවීමත් උතුම් කාර්යයක්ව තිබුණි. එදා පෙරදිග ධාන්‍යාගාරය බවට මෙරටට නම් ලැබුණේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. කාලයත් සමග රජරට ශිෂ්ටාචාරය බිඳ වැටුණු අතර එතෙක් පැවැති මහා කෘෂිකාර්මික සංස්කෘතියට විවධ බාධා මතු වුණි. එහෙත් අපේ පැරැන්නන් මෙරට කෘෂිකර්ම සංස්කෘතිය රැක ගැනීමට නොගත් උත්සාහයක් නැත. වියලි කලාපයේ වාරිමාර්ග උපයෝගී කරගෙන කෘෂිකාර්මික කටයුතුවල යෙදුණු තෙත් කලාපයේ අහස් දියෙන් කුඹුරු වගා කෙරුණි.

කෝට්ටේ යුගයේදී මුතුරාජවෙල වැනි මහා කෙත් යායවල් එම කෘෂිකාර්මික පුනරුදයේ මතක ශේෂයන්ය.එහෙත් කාලය ගත වීමත් සමග සියල්ල වෙනස් වූ අතර තෙත් කලාපයේ විහිදී තිබූ ගොවි සංස්කෘතිය කෙමෙන් හැකිලි යන්නට විය. එයට විවිධ හේතු මූලික වූ අතර ජල මාර්ග අවහිර වීම , නාගරීකරණයත් සමග ශ්‍රමිකයන්ගේ හිඟකම ඒ අතර ප්‍රධානය.

වර්තමානයේදී බස්නාහිර පළාතේ පමණක් ඇති කුඹුරුවලින් සියයට පනහකට කිට්ටු ප්‍රමාණයක් පුරන්ව තිබෙන අතර ඒ නිසා සරුසාර අස්වැන්නක් ගත හැකි කුඹුරු යායවල් කැලෑ රොදවල් සහ කෙටල ගාල් බවට පත්ව තිබේ. මෙම කුඹුරු බොහොමයකට ඔප්පු සහිත අයිතිකාරයන් සිටියද ඒවා පවතින්නේ අයිතිකාරයන් නැති ආකාරයටය. ඒ නිසා මෙම සියළු කුඹුරු ඇත්තේ කිසිදු ප්‍රයෝජනයක් නැති ආකාරයටය.එහෙත් මේ ගැන දශක ගණනාවක සිට කිසිවකුගේ අවධානය යොමු වූයේ නැත.මේ කුඹුරු බහුතරයක් පුරන් කුඹුරුබවට පත්වූයේ 1980 දශකය ආරම්භයත් සමගය. මේ ආකාරයට පුරන් වූ කුඹුරු නැවත අස්වද්දන්නට කලින් කලට පැමිණි ආණ්ඩු විවිධ උත්සාහයන් ගත්තද සැලැසුම් නිර්මාණය කළද ඒ කිසිදු සැලැසුමක් නිසි ආකාරයට දීර්ග කාලීනව ක්‍රියාත්මක වූයේ නැත.එයට ප්‍රධාන හේතුව වූයේ කලින් කලට සැලසුම් වෙනස් වීමත් මේ කාර්ය සඳහා යොදවා ගත් කාර්ය මණ්ඩල වෙත සැබෑ අවශ්‍යතාවක් නොතිබුණා විය හැකිය.

එහෙත් විශ්මයක් බඳු කාරණයක් වූයේ එය නොවේ කිසිදු රාජ්‍ය මැදහත් වීමකින් තොරව කුඩා තරුණ කණ්ඩායමක් පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා ඉදිරිපත් ව සිටීමය ඔවුන් දැනටමත් රට පුරා මෙම කාර්ය ක්‍රියාත්කම කර ඇත්තේ ඉතාමත් වේගවත් සහ උනන්දුවෙන් සිදු කරන වැඩසටහනක් ලෙසිනි.

මෙහි ඇති අනෙක් විශේෂතවය වන්නේ මෙම සද් කාර්ය වෙත සියලු තරුණ කොටස් සංවිධානය වී ඇත්තේ මුහුණු පොත හරහා වීමය. බොහෝ අය මුහුණු පොත නව පරපුර නොහික්මුණු ඉසව්වක් වෙත යොමු කරන බව පෙන්වා දුන්නද එය එසේ නොවන බවත් නව මාධ්‍ය සහ මුහුණු පොත සද් කාර්ය සඳහා ඉතාමත් හොඳින් යොදා ගත හැකි බවටත් වූ හොඳම නිදර්ශනය ලෙස තරුණයන්ගේ පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩපිළිවෙළ සඳහන් කළ හැකිය.

මේ ආකාරයට කිරිබත්ගොඩ නගරය ආසන්නයේ අවුරුදු තිහකට අධික කාලයක් පුරන්ව තිබූ කුඹුරු යායක් අස්වද්දන්නට වෙහෙස වන ආකරය නිරීක්ෂණයට එහි ගියෙමු. එම කුඹුර සමාජයේ ඉහළම තලයේ වෘත්තිකයන් යුවලකට අයත් පාරම්පරික කුඹුරක් වන අතර පුරන් කුඹුරු අස්වද්දන තරුණ කණ්ඩායමේ නායක තරුණයා වන නාලක සේනාධීර මහතා ඔවුන් මුලින්ම හඳුනාගෙන ඇත්තේ අන්තර්ජාලයේ පළ වූ ලිපියකිනි. කුඹුරු හිමියන් කියන ආකාරයට අවුරුදු තිහකටත් වඩා පුරන්ව තිබූ මෙම කුඹුර අඩි හත අටක් තරම් වූ කැලෑවකින් වැසී තිබූ අතර ඔවුනට මෙම කුඹුරේ කැලය ඉවත්කර ජල මාර්ග ප්‍රතිසංස්කරණය කර අවුරුදු ගණනාවක් කුඹුරට බැහැර කර තිබූ කසළ ඉවත් කිරීමට පමණක් රුපියල් ලක්ෂය ඉක්මවන මුදලක් වැය වී තිබේ. මෙම කාර්ය සඳහා ශ්‍රම දායකත්වය ලබා දී ඇත්තේ ස්වේඡාවෙනි. ඒ සියලු කාර්ය නිසා අදවන විට කිරිබත්ගොඩ නගරය ආශ්‍රිත කුඹුර වනාත ඉවත්කර නැවත සී සෑමට සුදුසු තත්ත්වයට පත් කර තිබේ. මෙහි ගෞරවයෙන් වැඩි ප්‍රමණය නාලක සේනාධීර මහතාට හිමිවන බව අප සඳහන් කරන්නේ ඔහුට කරනු ලබන අගැයුමක් වශයෙනි.

“මගේ අරමුණ වෙලා තියෙන්නේ රටට අලුත් දැක්මක් අලුත් රැල්ලක් හදන්න අද වෙද්දි ගොඩක් තරුණ කණ්ඩායම් ගොවිතැනට දක්වන්නේ අඩු උනන්දුවක් එවැනි තත්ත්වයක අපට ගොවිතැනට හොඳ කලක් ලැබෙයි කියලා විශ්වාස කරන්න බැහැ. අද වෙද්දි කුඹුරු පුරන් වෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ තරුණ කණ්ඩායම් මේ ගැන දක්වන උනන්දුවේ අඩුකම. ඒ නිසා අපි අලුතින් නව පරපුර අතර උනන්දුවක් ඇති කරන්න ඕනැ.මම මේ ගැන ගොඩ කාලයක සිට කල්පනා කළා කොහොමද කරන්නෙ කියල පස්සේ මම තීරණය කළා මටම පුළුවන් මේ ආරම්භය අරන් දෙන්න කියල. මට මුහුණු පොතෙන් සම්බන්ධ වෙච්ච සහෝදර පිරිසක් සහ පාරම්පරික ගොවියනුත් මේ වැඩවලට සම්බන්ධ කර ගත්තා. මේ මොහොත වන විට මට පුළුවන් වෙලා තියෙනවා බස්නාහිර සහ සබරගමු පළාත්වල පුරන්ව තිබුණු කුඹුරු අක්කර දෙසීයක් අස්වද්දන්න. ඒ ගැන මට පුදුමාකාර ආත්ම තෘප්තියක් ලැබෙනවා.

“සාමාන්‍ය කුඹුරක් අස්වැද්දීමත් පුරන් කුඹුරක් අස්වැද්දීමත් අතර වෙනසක් තියෙනවාද.?“ 

අපි නාලක මහතාගෙන් විමසුවෙමු.

“අපෝ ඔව් ලොකු වෙනසක් තියෙනවා. සාමාන්‍ය කුඹුරක් අස්වද්දනවා කියන්නේ සාමාන්‍ය වැඩක් ඒත් අවුරුදු තිහක් පුරන් වෙලා තියෙන කුඹුරක් අස්වද්දන්න ලොකු මහන්සියක් ගන්න වෙනවා. ගොඩක් අය කුඹුරු අතහැර දමන්නේ මේ සඳහා වෙහෙස වීමට බැරිකමත් ආර්ථික දුෂ්කරතා නිසාත් තමයි.තව පිරිසකට ආර්ථික සවිය තිබුණට කුඹුර අස්වද්දන්න ගොවි මහත්වරු සම්බන්ධ කර ගන්න විදිහක් නැහැ වෙහෙස වෙන්න පිරිසක් නැහැ. අපි මේ හැම දෙයක්ම සම්බන්ධීකරණය කිරීමට වැඩ කරනවා. අපත් එක්ක පාරම්පරික ගොවි මහත්වරුත් සම්බන්ධ වෙලා ඉන්නවා ඒ අය අපේ මේ සද්කාර්යට උපකාර කරනවා.

නාලක සේනාධීර තරුණ මහතා ඔහු සමග කිරිබත්ගොඩ කුඹුරු යාය අස්වැද්දීමට පැමිණ සිටින දැදිගම පාරම්පරික ගොවි මහතකු වන අජිත් බණ්ඩාර ගොවි මහතා අප සමග කතාබහට එක් කළ අතර අජිත් බණ්ඩාර ගොවි මහතා පුරන් කුඹුරු අස්වද්දන්ට ඔවුන් දරන වෙහෙස ගැන මෙලෙස පැහැදිලි කළේය.

“ මේක ලේසි වැඩක් නොවෙයි. සී සෑමට කලින් බිම සකස් කරන්න ලොකු මහන්සියක් ගන්න වෙනවා. ඇළ මාර්ග හැදීම නියරවල් තැබීම කරන්න වෙනවා මේකට ලොකු මහන්සියක් දරන්න වෙනවා.

නාලක මල්ලි නිසා තමයි මේ වැඩේට මම සම්බන්ධ වෙන්නෙ. එයා ලොකු වැඩක් අගය කළ යුතු දෙයක් කරන්නෙ. අපේ රටේ තරුණයන්ට මේ වගේ යහපත් දේකට එකතු වෙන්න පුළුන්නම් ඒක ලොකු දෙයක්.

“අස්වද්දපු පුරන් කුඹුරු අස්වැද්දීමෙන් පස්සේ නඩත්තු කටයුතු කරන්නෙ කවුද.? “

අපි අජිත් බණ්ඩාර මහතා වෙත පැණයක් යොමු කළෙමු.

“කුඹුරු හිමියා ඉල්ලීමක් කළොත් අපිට පුළුවන් කුඹුරට ඇවිත් බලන්න. කොහොමත් කුඹුරක් කියන්නෙ නිතරම බලන්න ඕනැ නඩත්තු කරන්න ඕනැ තැනක්. මේ කුඹුරු හිමියා කීවා එයාට බලන්න පුළුවන් ඔහුට කුඹුරු වගාව ගැන අවබෝධයක් තියෙනවා කියලා ඒ නිසා අපි මේ කුඹුර බලන්න එන්නෙ නැහැ. ඉල්ලීමක් ආවොත් අපි අස්වද්දපු කුඹුරු බලන්න යනවා. 

අජිත් බණ්ඩාර මහතාගෙන් පසු අප සමග කතාබහට එක් වූයේ විදෙස්ගතව සිට කෙටි නිවාඩුවකට මෙරට පැමිණ නාලකලාට උපකාර කරන තරුණයකි ඔහු නමින් රොෂාන් ඉන්දික මහතාය.

“ඇත්තෙන්ම මේ වැඩේ ලොකු දෙයක් මම අවුරුදු ගාණක් රට ඉඳලා අවේ අපේ රටේ කොල්ලො එකතු වෙලා කරන දේ හොඳයි..රටක් හදන්නනම් තරුණ පරම්පරාව එකතු වෙන්න ඕනැ. අද වෙද්දි ඒ දේ සිදුවෙමින් තියෙනවා. අලුත් තාක්ෂණය ලෝකයේ හැම තැනම මහජන යහපතට යොදා ගන්නවා අපි මෙච්චර කාලයක් මේ දේවල් යහපතට යොදා ගන්නවාට වඩා අයහපතට යොදා ගත්තෙ. ඒත් අද තරුණයො මේ දුර්මතය බිඳ දමා තියෙනවා. ඒ ගැන තරුණයකු විදිහට මම ගොඩක් සතුටු වෙනවා. මම මට පුළුවන් විදිහට හැම වෙලාවෙම නාලක මල්ලිලාගෙ තරුණ කණ්ඩායමට උදව් කරනවා. මේ වැඩෙන් මට කිසිම දෙයක් ඕනෙ නැහැ.ඒත් රටට අලුත් පාරක් අලුතු රැල්ලක් හැදෙනවා නම් ඒක තමයි මගේ දිනුම විදිහට මට හිතෙන්නෙ.

පුරන්කුඹුරු අස්වද්දන තරුණ කණ්ඩායමට එක්ව සිටින අතුල විතානආරච්චි තරුණ මහතා වෘත්තියෙන් සහකාර මිනින්දෝරුවකි. ඔහුගෙ ගම කැලණියයි. දහසක් රාජකාරී සහ අධ්‍යාපන කටයුතු මැද ඔහු ද පුරන් කුඹුරු අස්වද්දවන සද් කාර්ය වෙත එළඹ තිබේ.

“මම අවුරුදු විස්සකට පස්සෙ කුඹුරකට බැස්සෙ අද මේ වැඩේට මට ලොකු ආශාවක් තියෙනවා මෙතැන ඉන්න කිසිම කෙනෙක් පුද්ගලිකව හඳුනා ගත් අය නොවෙයි. මුහුණුපොත හරහා සම්බන්ධ වුණ අය. ලොකු සතුටක් විතරක් නොවෙයි මට හිතෙනවා අපි රට වෙනුවෙන් ලොකු වැඩක් පටන් ගත්ත කියලා. අපිට විතරක් මේ වැඩේ කරගෙන යන්න බැහැ. මම හැමෝටම කියනවා මේ විදිහට එකතු වෙලා වැඩ කරන්න කියලා. අපේ රට හදන්න පුළුවන් වෙන්නෙ තනිවම වැඩකරල නොවෙයි.එකතු වෙලා වැඩ කළ යුතුයි. ඒ ආදර්ශය තමයි අපි ලබා දෙන්නෙ ඇත්තෙන්ම අපේ තරුණ කණ්ඩායම් එකතු වෙන්න පුළුන්නම් රට ඉස්සරහට අරන් යන්න පුළුවන්.

ආණ්ඩුව කරනකම් පළාත් සභාවෙන් කරනකම් බලන් ඉන්න එක නොවෙයි වෙන්න ඕනැ. අපි එකතු වෙලා අපේ රට හදන එක.“

මෙම පුරන් කුඹුරු අස්වද්දන වැඩසටහනේ අනුශාසක ලෙස කටයුතු කරන්නේ මන්ජු ශ්‍රි හිමියන්ය. උන්වහන්සේද මේ වැඩපිළිවෙලට එක්ව සිටින්නේ මුහුණු පොතෙන් ඇතිවූ මිත්‍රත්වයක ප්‍රතිඵලයක් ලෙසිනි.

“මේ වැඩේ අපේ සහෝදරයො එකතු වෙලා පටන් ගත්තා දැන් සමාජයේ මේ ගැන ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා අපි දැන් වාහනේ තල්ලු කරල ස්ටාර්ට් කළා ඉස්සරහට අරගෙන යන එක තරුණ ඔබට බාරයි. ආණ්ඩුවේ බලධාරීන්ට පුළුවන් මේ වගේ දේවල් ගැන සමාජය උනන්දු කරවන්න. අද පුරන් කුඹුරු අක්කර දහස් ගණනක් තියෙනවා . ඇත්තෙන්ම මේ සරුබිම්වලින් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්න ඕනැ. ඒ සඳහා ස්ථිර වැඩපිළිවෙලක් රජය පැත්තෙන් ක්‍රියාත්මක වෙන්න ඕනැ. එහෙම වුණොත් තමයි අපේ මහන්සිය සාර්ථක වුණා කියල සතුටු වෙන්න පුළුවන් කම තියෙන්නෙ. මම අපේ තරුණ නංගිලා මල්ලිලාගෙන් ඉල්ලා සිටිනවා ඔබේ තරුණ කාලය නරක දේට යොදවන්න එපා හොඳ දෙයක් වෙනුවෙන් යොදවන්න කියලා. එහෙම වුණොත් අපට රටක් විදිහට ලොකු ගමනක් යන්න පුළුවන් වෙන්නේ.

පුරන් කුඹුරු අස්වැද්දවීම පමණක් නොව දැනට අතහැර දමා ඇති විවිධ සරුබිම් රැසක් රටපුරා තිබේ. මෙම බිම්වලින් නිසි ප්‍රයෝජනයක් ගන්නේ නැත. එහෙත් විවිධ ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා මෙරටින් විශාල මුදල් ප්‍රමාණයක් එතෙරට ඇදී යයි. පසුගිය කාලයේදී සහල් පවා මෙරටට ආනයනය කළ අවස්ථා තිබුණි. එහෙත් මෙවැනි සරුබිම් ඇති අප වැනි රටකට එසේ කටයුතු කිරීමට අවශ්‍යතාවක් නැත. එනිසා අප දැන් කළ යුත්තේ. රට සරුබිමක් කිරීම සඳහා තරුණයන් ගත් මග විධිමත්ව යාහැකි නව ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමය.



උදිත ගුණවර්ධන
ඡායාරූප චතුරංග එම්.ප්‍රදීප් කුමාර

මුෂාරෆ්ගේ ඉරණම

$
0
0
දෙසැ 21, 2019 01:00
ධම්මික සෙනෙවිරත්න

පාකිස්තානයේ හමුදා ප්‍රධානියකුට එරෙහිව මෙලෙස නඩු විභාගයක් පවත්වා දේශද්‍රෝහීවීමේ වරදට මරණ දඬුවම නියම කෙරුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය. ජෙනරාල් මුෂාරෆ්ට මරණ දඬුවම නියම වීමෙන් පසුව පාකිස්තාන හමුදාව නිකුත් කළ ප්‍රකාශයකින් කියැවුණේ, එය දැඩි වේදනාකාරී තීරණයක් බවය. පාකිස්තානයේ අන්තර් (ආරක්ෂක) සේවා මහජන සම්බන්ධතා (SSPR) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ජෙනරාල් මුෂාරෆ් යනු නිසැකවම ද්‍රෝහියකු නොවන බවය. වසර 40 කට වැඩි කාලයක් ඔහු රට වෙනුවෙන් සේවය කර ඇති බව ද එහි දැක්වේ

පාකිස්ථානයේ හිටපු ජනාධිපති ජෙනරාල් පර්වේෂ් මුෂාරෆ්ට මරණ දඬුවම නියම විය. ඔහු වරදකරු කෙරුණේ කුමන්ත්‍රණයකින් රජය පෙරළීමේ චෝදනාවටය.

අදාළ නඩුව විභාගයට ගැනීම ආරම්භ වූයේ 2013 දීය. තීන්දුව ප්‍රකාශ වනවිට හිටපු ජනපති මුෂාරෆ් එම විශේෂ අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. තිදෙනකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලෙන් දෙදෙනෙක් ඔහුට හිමි දඬුවම මරණ දඬුවම බව ප්‍රකාශ කළ අතර, එක් විනිසුරුවරයකු මරණ දඬුවම ලබාදීමට එරෙහි විය. පාකිස්තාන නීතිය යටතේ කුමන්ත්‍රණයකින් රජය පෙරළීමේ වරදට දඬුවම එක්කෝ මරණ දඬුවමය නැතහොත් ජීවිතාන්ත සිරදඬුවමය.

බලයේ සිටියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් හදිසි නීතිය ප්‍රකාශ කළ බවට ජෙනරාල් මුෂාරෆ්ට චෝදනා එල්ල කෙරිණි. 76 හැවිරිදි මුෂාරෆ් තුන්වසරකට වැඩි කලක් තිස්සේ ජීවත්වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායිහි ය. මීට සති කිහිපයකට පෙර රෝහල් ඇඳක් මත සිට ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ තමාට එරෙහි නඩු විභාගයේදී එල්ල කරන චෝදනා පදනම් විරහිත බවයි. ඔහුට එරෙහිව පණවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමෙන් පසු ජෙනරාල් මුෂාරෆ් රටින් පිට විය.

හමුදා කුමන්ත්‍රණය

එවක හමුදාපතිවරයා වූ ජෙනරාල් මුෂාරෆ් 1999දී පාකිස්තානයේ ජනාධිපති වශයෙන් බලයට පත්වූයේ හමුදා කුමන්ත්‍රණයකිනි. එම කුමන්ත්‍රණයේ දී නවාෂ් ෂරීෆ්ගේ ආණ්ඩුව පෙරළා දැමිණි. ජනාධිපති මුෂාරෆ් 2008 දක්වා බලයේ සිටියේය. ඔහු ධුරයෙන් ඉවත් වූයේ පාලන සභාග ආණ්ඩුව විසින් ඔහුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කළ පසුබිමකය.

හිටපු ජනාධිපතිවරයා වරදකරු වූ පියවර ඔහු විසින් ගනු ලැබුවේ 2007 වසරේදීය. එහිදී හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම ද අගවිනිසුරුවරයා ධුරයෙන් පහකිරීමට වෑයම් කිරීම ද සිදුවිණි. ඔහු එම නියෝග පැනවූයේ ව්‍යවස්ථාව අත්හිටුවමිනි. ඔහු තමා ගත් එම ක්‍රියාමාර්ග සාධාරණීකරණය කරන්නේ රටේ ස්ථාවරභාවය උදෙසා මෙන්ම නැඟීඑමින් පැවැති ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා එසේ කිරීම අවශ්‍ය වූ බව දක්වමිනි.

මුෂාරෆ්ගේ නායකත්වය යටතේ පාකිස්තානය එවක අමෙරිකා ජනාධිපති ජෝර්ජ් ඩබ් බුෂ් ප්‍රකාශයට පත්කළ ත්‍රස්තවාදයට එරෙහි සටනේ හවුල්කරුවකු ද විය. කෙසේ වුවද, හදිසි නීතිය පණවමින් ජනාධිපති මුෂාරෆ් ගත් ක්‍රියාමාර්ග අමෙරිකාවේ හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන්ගේ විවේචනයට ලක්ව තිබිණි. අමෙරිකාවෙන් මෙන්ම බටහිර රටවලින්ද එල්ලවූ විරෝධය හමුවේ පසුව හදිසි නීතිය ඉවත්කිරීමට ඔහු ක්‍රියා කළ අතර, මැතිවරණයක් ද කැඳවීය.

ධුරයෙන් ඉවත්වීමෙන් පසු 2008 දී ඔහු රටින් පිට විය. යළි 2013දී පාකිස්තානය බලා පැමිණියේ, මහමැතිවරණයට තරඟ කිරීමේ අපේක්ෂාවෙනි. එහෙත්; අධිකරණ ක්‍රියාමාර්ග ඊට හරස් විය.

හමුදා කුමන්ත්‍රණ යනු පාකිස්තානයට නුහුරු අත්දැකීමක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණවලට වඩා එරට බලය මාරුවී ඇත්තේ කුමන්ත්‍රණවලිනි. කුමන්ත්‍රණයකින් බලයට පත්වූ ආඥාදායක පාලක ජෙනරාල් ෂියා උල් හක්, හිටපු ජනාධිපති අලි බූතෝ එල්ලා මරා දැමීමට නියෝග කළේය. අලි බූතෝ යනු පසු කලෙක පාකිස්ථානයේ රාජ්‍ය නායිකාව ලෙස කටයුතු කළ බෙනාසීර් බූතෝගේ පියාණන්ය.

පාකිස්තානයේ හමුදා ප්‍රධානියකුට එරෙහිව මෙලෙස නඩු විභාගයක් පවත්වා දේශද්‍රෝහීවීමේ වරදට මරණ දඬුවම නියම කෙරුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය. ජෙනරාල් මුෂාරෆ්ට මරණ දඬුවම නියම වීමෙන් පසුව පාකිස්තාන හමුදාව නිකුත් කළ ප්‍රකාශයකින් කියැවුණේ, එය දැඩි වේදනාකාරී තීරණයක් බවය. පාකිස්තානයේ අන්තර් (ආරක්ෂක) සේවා මහජන සම්බන්ධතා (SSPR) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ජෙනරාල් මුෂාරෆ් යනු නිසැකවම ද්‍රෝහියකු නොවන බවය. වසර 40 කට වැඩි කාලයක් ඔහු රට වෙනුවෙන් සේවය කර ඇති බව ද එහි දැක්වේ. පුද්ගලයකුට ස්වයං ආරක්ෂාව සඳහා ඇති මූලික අයිතිවාසිකම ද උල්ලංඝනය කරමින් සිදුවූ මෙම අධිකරණ ක්‍රියාදාමය ද ඉන් විවේචනය කෙරිණි. ආරක්ෂක හමුදාව වශයෙන් එරට ව්‍යවස්ථාවට අනුව යුක්තිය පසිඳලීම සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ද එහි දැක්වේ. එසේ බලන කළ පෙනෙන්නට ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට මරණ දඬුවම දීමට ගෙන ඇති තීරණයට එ‍රට හමුදාවේ කැමැත්තක් නැති බවය.

එමෙන්ම ඔවුන් කෝපයට පත්ව සිටින බවද පෙනෙන්නට තිබේ. මේජර් ජෙනරාල් අසීෆ් ගෆූර් පවසන්නේ නීතිමය හා ව්‍යවස්ථාමය අවශ්‍යතාවක් මෙහිදී සපුරා නැති බවය. තමාට එරෙහිව මෙම චෝදනා නඟා ඇත්තේ දේශපාලන අරමුණකින් බව පෙන්වාදෙන ජෙනරාල් මුෂාරෆ්, තමා ගත් එම ක්‍රියාමාර්ගයට කැබිනට් මණ්ඩලය හා ආණ්ඩුව එකඟවූ බව ද සඳහන් කරයි.

හිටපු අගමැතිනි බෙනාසීර් බූතෝ ඝාතනය සම්බන්ධයෙන් චෝදනාවේදී ජෙනරාල් මුෂාරෆ් දෙසට ද ඇඟිල්ල දිගුවිය. රජය පෙරළීමේ චෝදනා මත ඔහුට මරණ දඬුවම් නියම කළ විශේෂ අධිකරණය හමුවේ මුෂාරෆ් පෙනී සිටියේ දෙවතාවකදී පමණි. මුෂාරෆ්ගේ දේශපාලන පක්ෂය වන සමස්ත පාකිස්තාන මුස්ලිම් ලීගය (APML) මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත්කරන බව කියා තිබේ. ‍එය ඉක්මනින්ම සිදුකරන බව ඔවුහු පවසති. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත්වනු ඇත.

මුෂාරෆ්ගේ ප්‍රකාශය

පාකිස්තාන තොරතුරු අමාත්‍යාංශයේ දේශපාලන ප්‍රධානී ෆර්දවුස් අෂීක් ඛාන් පවසා ඇත්තේ මෙම තීන්දුව පිළිබඳ විස්තරාත්මක විමර්ශනයක් සිදුකරන බවය. ඒ යටතේ නීති විශාරදයන් විසින් එහි නෛතික, දේශපාලන බලපෑම් මෙන්ම රටේ ජාතික අභිලාෂය ගැන ද අවධානය යොමු කරමින් එය සලකා බලනු ඇත. අනතුරුව රජය මාධ්‍යයට ප්‍රකාශයක් කරනු ඇති බව ද ඔහු කියා තිබේ. අගමැති ඉම්රාන් ඛාන්ගේ පාලනය යටතේ මෙම ක්‍රියාදාමය වැළැක්වීමට වෑයම් කළ ද එය අසාර්ථක වූ බවට මාධ්‍ය වාර්තා කර තිබිණි.

නඩු තීන්දුව ප්‍රකාශයට පත්වූයේ එරට හමුදා ප්‍රධානී ජෙනරාල් ඛමාර් ජාවෙඩ් බජ්වාට වසර 3ක සේවා දිගුවක් ලබාදීමට රජය ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රශ්න කර සති කිහිපයකට පසුවය.

පාකිස්තාන මුස්ලිම් ලීගය (නවාස්) පක්ෂය පෙන්වාදී ඇත්තේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මෙම තීන්දුවෙන් සනාථවී ඇති බවය. එසේ සිදුවූයේ පළමු වතාවට බව ද ඔවුහු පවසති. පාකිස්තාන ජනතා පක්ෂයේ (PPP) සභාපති බිලාවල් බූතෝ සර්දාරි නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වුණේ “හොඳම පළිගැනීම ප්‍රජාතන්ත්‍රවාදය” බවය. තීන්දුව ප්‍රකාශයට පත්වූ විගස හෝ ජෙනරාල් මුෂාරෆ් ඒ පිළිබඳ සිය මතය පළකිරීමක් දක්නට නොලැබිණි. දින කිහිපයකට පසුව “ඛලීජ් ටයිම්ස්” වාර්තා කළේ, මෙම තීන්දුව පුද්ගලික පළි ගැනීමක් යැයි ඔහු ප්‍රකාශ කර ඇති බව ය. එම ප්‍රකාශය සිදුකර තිබුණේ රෝහල් ඇඳ මත හිඳිමිනි. තම ප්‍රකාශයක් ලබා ගැනීමට ඩුබායි වෙත පැමිණෙන්නැයි කළ ඉල්ලීම පවා එම විශේෂ කොමිසම බැහැර කළ බව ඔහු එහිදී පවසා තිබිණි. තමන් සමඟ සිටින අයට ස්තුති කළ ජෙනරාල් මුෂාරෆ් ඉදිරි පියවර සිය නීතිවේදීන් සමඟ සාකච්ඡා කර ගන්නා බව ද කියා සිටී.

සිය ප්‍රකාශය මඟින් මුෂාරෆ් චෝදනා කර ඇත්තේ ඇතැම් ඉහළ පෙළේ උදවිය බලය අවභාවිත කරන බවටය. පාකිස්තානයේ අධිකරණ ක්‍රියාදාමයට තමා ගරු කරන බව පවසන හිටපු ජනාධිපතිවරයා අගවිනිසුරු ද සඳහන් කරන පරිදි නීතිය ඉදිරියේ කවුරුත් සමාන වුවද තමා සම්බන්ධයෙන් එය එලෙස වී ඇති බවක් නොපෙනේ යැයි ද පෙන්වා තිබේ. එසේම පාකිස්තානයේ අධිකරණය ගැන තමා විශ්වාසය තබන බව ද එමඟින් තමාට යුක්තිය ඉටුවනු ඇතැයි අපේක්ෂාකරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ක්‍රියාත්මක සේවය

තරු හතරේ ජෙනරාල්වරයකු වන පර්වේෂ් මුෂාරෆ් පාකිස්තානයේ 10 වෙනි ජනාධිපතිවරයා විය. 1943 දී බ්‍රිතාන්‍ය යටත්විජිතයක්ව පැවැති සමයේ දිල්ලියේදී උපත ලැබූ මුෂාරෆ් කරච්චි සහ ඉස්තාන්බුල් නගරවල හැදී වැඩිණි. ලාහෝරයේ ෆෝර්ටන්, ක්‍රිස්තියානි පාසලෙන් ගණිතය විෂයය හදාරා එක්සත් රාජධානියේ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ රාජකීය විද්‍යාලයෙන් ද පාකිස්තාන හමුදා ඇකඩමියෙන් ද පුහුණුව ලැබීමෙන් පසු බලයලත් නිලධාරියකු ලෙස පාකිස්තාන හමුදාවට එක්විය.

ඇෆ්ගන් සිවිල් යුද්ධයේදී මෙන් ඉන්දු - පාකිස්තාන යුද්ධයේදී ද ඔහු ක්‍රියාන්විත සේවයේ යෙදිණි. 2 වැනි ලුතිනන් මුෂාරෆ් මේජර් ජෙනරාල්වරයකු ලෙස උසස්වීම් ලැබුවේ 1990 ගණන්වලදී ය. ඉන් ටිකකලකට පසු නියෝජ්‍ය හමුදා ලේකම් පදවිය සමඟ අනතුරුව හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් පදවියට පත්විය. ඔහු තරු හතරේ ජෙනරාල්වරයකු ලෙස උසස් කරනු ලැබුවේ 1998 දී අගමැති නවාෂ් ෂරීෆ් විසිනි. එවක් පටන් ඔහු සන්නද්ධ සේවාවන්හි ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය.

අගමැති ෂරීෆ් සහ ජෙනරාල් මුෂාරෆ් අතර ඇතිවූ ගැටුම්කාරීත්වය මත ඔහු ජෙනරාල් ධුරයෙන් ඉවත් කිරීමට අගමැතිවරයා අසාර්ථක වෑයමක යෙදිණි. 1999 දී, හමුදා කුමන්ත්‍රණයකින් ජෙනරාල් මුෂාරෆ් බලයට පත්විය. හිටපු අගමැති ෂරීෆ්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ විමර්ශන ඇරැඹීමට පෙරාතුව ඔහු දැඩි නිවාස අඩස්සියේ රැඳවිණි. මුෂාරෆ්, ඒකාබද්ධ හමුදා ප්‍රධානී ධුරයෙන් විශ්‍රාම ලැබුවේ ජනාධිපති වශයේ කටයුතු කරද්දී 2007 වසරේදී ය. ඒ; ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට ආසන්න සමයයි.

සිය පාලන සමය තුළ ආර්ථිකය ලිබරල්කරණයට යොමුකළ ජනාධිපති මුෂාරෆ් පාකිස්තානයේ ආර්ථිකය වර්ධනය කළේය. දළ ජාතික නිෂ්පාදනය 50 %ක වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත් විණි. කෙසේ වුවද ඉතුරුම් පහළ ගිය අතර ආදායම් බෙදීයාමේ විෂමතා වැඩිවිය. ඔහුගේ පාලනයට එරෙහිව මානව හිමිකම් චෝදනා ද එල්ල විය. බලයේ සිටියදී අවස්ථා ගණනාවකදීම ඝාතන ප්‍රයත්නවලින් ජීවිතය ගලවා ගැනීමට ජෙනරාල් පර්වේෂ් මුෂාරෆ් සමත් විය.

සීතල නත්ලට උණු­සුම් නිර්මා­ණ­යක්....

$
0
0
දෙසැ 23, 2019 01:00

සීතල නත්තල් මාසයේ කිසිදු භේදයකින් තොරව සියලුම දෙනා සැරසෙන්නේ සාමකාමීව ඒ අසිරිමත් නත්තල සමරන්නයි. නිවෙස්වල වගේම මඟතොට, කාර්යාලවල පවා නත්තල් අසිරිය දකින්නට ලැබෙනවා. ඒ අතරින් ආකර්ෂණීය අත්කම් නිර්මාණ බිහිවෙනවා. නත්තල් සාදයකදී සුලබව දක්නට ලැබෙන දෙයක් තමයි ඉටි පන්දම් කියන්නේ.

වියළි දැව කොටයකින් කපාගත් රවුමක ඇණ කිහිපයක් රඳවා මේ වගේ ඉටිපන්දම් රැඳවීමෙන් ඔබේ නිවසටත් අලුත් එළියක් ඒවි. මේ පහසු නිර්මාණය ඔබේ දරුවන් සමඟ එක්ව කළොත් දරුවනුත් සතුටු වේවි.

කය හා මනස එක ලෙස රකින්න

$
0
0
දෙසැ 23, 2019 01:00

 

රටක ජීවනාලිය වනුයේ මිනිස් සම්පත ය. මිනිසාගේ නිරෝගීකම පරමලාභය වේ. මිනිසා කායිකව මානසිකව සෞඛ්‍යය සම්පන්න දිවිපෙවෙතක් ගත කළ යුතු ය. කායික වශයෙන් ගොඩනඟාගත් ජීවන පැවැත්ම සමතුලිත ලෙස පවත්වාගෙන යාම සඳහා මිනිසාගේ මානසික සෞඛ්‍යය ද දැඩි ලෙස බලපායි. මේ, යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් ගොඩනඟා ගැනීමෙහි ලා පිළිපැදිය යුතු ‍උපදෙස් කිහිපයකි.

 

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්

මිනිස් සිරුරේ පද්ධතිවල ක්‍රියාකාරීත්වය සඳහා පෝෂ්‍ය පදාර්ථවල අවශ්‍යතාවය බලපාන්නා සේම මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය සඳහා ද සමබර ආහාර වේලක් අවශ්‍ය වේ. සීනි, පෝෂණ අතිරේක, අධික මත්පැන් හා කැෆේන් භාවිතය ඔස්සේ මානසික සෞඛ්‍යයට හානි සිදු වේ.

මනසටත් ව්‍යායාම

මානසික සමබරතාවය පවත්වා ගැනීම සඳහා ශාරීරික සමබරතාවය ඉවහල් වේ. මනසට ව්‍යායාම ලබාදීමට බොහෝදෙනා රුචිකත්වයක් දැක්වුව ද ශාරීරික ව්‍යායාම සඳහා මැලිකමක් දක්වයි. මානසිකව මෙන්ම කායිකව නිරෝගී සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකිරීමෙහි ලා දිනකට පැය බාගයක් අවම වශයෙන් ව්‍යායාම කළ යුතුය.

මනසට ව්‍යායාම දෙන විනෝදාංශ

චෙස්, පසල් ගේම් වැනි මනසට ව්‍යායාම් වන විනෝදාංශ ඇත. මින් මානසික ඒකාග්‍රතාව මෙන්ම බුද්ධිමය හැකියාව දියුණු කරයි.

ප්‍රශ්න ප්‍රශ්නයක් කර නොගන්න

ජීවිතය යනු ප්‍රශ්න පත්‍රයකි. එහෙත් ප්‍රශ්න ගැන නිරන්තරයෙන් සිතීම ඔස්සේ මානසික ව්‍යාකූලතාවය ට බඳුන්වීමේ සම්භාවිතාව ඉහළ ය. නිරන්තරයෙන් ප්‍රශ්නවල එල්බ ගෙන සිටිනවාට වඩා හැකි අයුරින් ප්‍රශ්න විසඳා ගැනීම ඔස්සේ සතුටින් සිටීමට හැකි වේ. එය යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් ළඟා වීමට හේතු වේ.

මොළයට පෝෂණය

මොළය පෝෂණය කළ හැකි ක්‍රම රැසකි. ඉන් කොයි කවුරුත් දන්නා ක්‍රමයක් ලෙස අධ්‍යාපනය හැදින්විය හැක. අධ්‍යාපනයෙන් පමණක් නොව ඔබ සතු විවිධ කුසලතා වර්ධනය කර ගැනීම ඔස්සේ ද මොළයට පෝෂණයක් ලබා දියහැකි වේ. උදාහරණ ලෙස මැහුම් ගෙතුම් ඉවුම් පිහුම් වැනි කුසලතා දැක්විය හැක.

 

අන්ත­ර්ජා­ලය ඇසු­රිනි
ඉසුරි රණ­වීර

වසෙන් ඉද­වූ පල­තුරු

$
0
0
දෙසැ 23, 2019 01:00

 

නීරෝගිමත් සෞඛ්‍යක් සඳහා අපි පලතුරු ආහාරයට ගනිමු. ඉදී නැතිනම් පලතුරු ඉදවාගෙන කෑමට මිනිසුන් අද හුරුවී සිටී. අතීතයේ පටන් පලතුරු කෘත්‍රීමව ඉදවීම දක්නට ලැබුණත්, පැරැන්නන් මේ සදහා යොදාගෙන තිබෙන්නේ ස්වභාවික උපක්‍රම ය.

 

• අමු පලතුරු මත පිදුරු, බිලිං කොළ වැනි දේ යොදා වැසුණු බදුනක තැබීම

• කෙසෙල් කැන් වළ ලා තැබීම

• ඉදුණු මිරිස් කරලක් වැසුණු බදුනක තබා ඒ තුළ අමු පලතුරු තැබීම

නමුත්, වර්තමානයේ ප්‍රචලිත වී තිබෙන්නේ කෘතිම ක්‍රම මඟින් පලතුරු ඉදවීම ය. ඒ, පහසු බැවිනි. ඉදවීම පහසු වූවද පලතුරෙහි ඇති පෝෂණීය ගුණයට හානි වීම සෞඛ්‍ය ගැටලු රැසකට මග පාදයි.

පලතුරු කෘත්‍රීමව ඉදවන ක්‍රම

එතනෝල් භාවිතය

මෙම ක්‍රමය රජය විසින් අනුමත කර ඇත. එතෆෝන් මිලි.10කට, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලි ග්‍රෑම් 2ක් දමා, එය ජලය ලීටර් 5ක දියකර, වැසුණු කුටියක් තුළ පලතුරු තැබීමෙන් ආරක්ශිතව ඉදවිය හැක. නමුත් එතෆෝන් මිශ්‍රණය කෙලින්ම පලතුරු මතට ඉසීම හෝ ගිල්වීම සිදු නොකළ යුතුයි.

කැල්සියම් කාබයිඩ් භාවිතය

කැල්සියම් කාබයිඩ් භාවිතය රජය විසින් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.කැල්සියම් කාබයිඩ් කොලයක් මත තබා,එය වැසුණු කුටියක් තුළ තැබීමෙන් ඇසිටලීන් වායුව නිපදවා ගත හැකි අතර එමඟින් පලතුරු ඉදවිය හැක. නමුත් කැල්සියම් ආබයිඩ් භාවිතය තවමත් වෙළඳ සමාජයේ දැකිය හැකි ය. වෙළදාම් කරන අවස්ථාවේදී, ප්‍රවාහනයේදී හා ගොවීන් පලතුරු නෙලීමේදී යන අවස්ථාවල මේ ක්‍රමය භාවිත කෙරේ. එමෙන්ම ඔවුන් ඇසිටලීන් වායුව භාවිතා කිරීම වෙනුවට කැල්සියම් කාබයිඩ් ජලයේ දියකර, ඒවා පලතුරු මතට ඉසීම හෝ එම ද්‍රාවණයේ ගිල්වයි. බොහෝවිට එම වෙළෙන්දන් අසංශුද්ධ කැල්සියම් කාබයිඩ් භාවිතා කරන අතර එම අසංශුද්ධ කැල්සියම් කාබයිඩ්වල ආසනික්,පොස්ෆීන් වැනි අහිතකර සංඝඨක අන්තර්ගත වේ. එමනිසා කැල්සියම් කාබයිඩ් භාවිතය ශ්‍රී ලංකා ජනරජය විසින් 1993 ඔක්තෝම්බර් 12 දින නිකුත් කරන ලද 788/7 ගැසට් පත්‍රය මඟින් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

දුම් ගැසීම

පලතුරු දුම් කාමරයක් තුළ හෝ වලක දමා,කෙසෙල් කොල පුච්චා දුම් ගසයි. මේ ක්‍රමය අතීතයේ සිට මිනිසුන් භාවිතා කළත්, අද භූමිතෙල් වැනිදේ භාවිතා කර දුම් ගසයි. එහිදී කාබනික මොනොක්සයිඩ් වැනි වායු නිපද වේ.

පලතුරු කෘතිමව ඉදවීම නිසා අත්වන ප්‍රතිඵල

කෘතිමව ඉදවීමේදී පලතුරුවල ඇති පෝෂණ ගුණය අවම වේ. කැල්සියම් කාබයිඩ් මඟින් පෝෂණයට හානිවීම වැඩිවශයෙන් දක්නට ලැබේ.

එතෆෝන් කෙලින්ම පලතුර මතට යෙදුවහොත්, පෙනහළු ආශ්‍රිත රෝග, හෘද රෝග, අක්මාවේ රෝග සෑදීමට අවධානමක් ඇත. කැල්සියම් කාබයිඩ් භාවිතය නිසා, ආහාර මාර්ගය ආශ්‍රිත රෝග (පාචනය,වමනය) ශරීරයේ දුර්වලතා, අත් පාවල සිදුවන හිරිවැටීම් කතා කිරීමේ හා ආහාර ගිලීමේ අපහසුතා, පපුවේ හා බඩේ දැවිල්ල වැනි රෝගී තත්වයන් ඇතිවන අතර එයට ප්‍රධානම හේතුව වශයෙන් ආසනික් හා පොප්ෆීන් අන්තර්ගත වීම හදුනා ගෙන තිබේ.

වර්තමානයේ දුම් ගසන ක්‍රම මඟින් සෞඛ්‍යට අහිත​කර තත්ත්වයන් ඇතිබව ITI ආයතනය මඟින් කර ඇති නවතම පරීක්ෂණයකින් සොයාගෙන ඇත. එනම්, දුම් ගැසීම නිසා පලතුරු මාංශයට phenanthrene නමැති polyaromatic hydocarbon (පොලිඇරෝමැටික් හයිඩ්‍රොකාබන්) යන පිළිකා කාරකය ඇතුල් වී පිළිකා සෑදීමේ අවධානමකට ලක් විය හැක. එමෙන්ම දුම් ගැසීම නිසා පලතුරෙහි පිටත පෙනුම විනාශ වේ. මහා පරිමාණයෙන් දුම් ගසන විට දුම් ගසන පුද්ගලයාටද පෙනහළු ආශ්‍රිත රෝග වැළඳය හැක.

කෘත්‍රීමව ඉදවූ පලතුරු හඳුනා ගන්නේ කෙසේද?

• පලතුරුවල පොත්තේ කැලැල් සහිත බවක් දක්නට ලැබීම

• මතුපිට ඇති ඒකාකාරීව දිලිසෙන සුළු බව

• පොත්ත ඉදී ඇතිබව පෙන්නුම් කළද ඇතුලත් ඉදී නොතිබීම

• කෘතිම රසයක් දැනීම

• කෘතිම සුවදක් දැනීම

• ස්වභාවික ඉදුණු පලතුරුවල යුෂ හොදින් ඇති අතර කෘතිමව ඉදවූ පලතුරුවල යුශ අවම ය

• අඹ ගෙඩියක් ස්වභාවිකවම ඉදෙද්දී අඹ ගෙඩියේ නටුව පැත්තේ සිට පහතට ඉදීම ආරම්භ වේ

• ගස්ලබු ගෙඩිය ස්වාභාවිකවම ඉදෙද්දී නටුවට ප්‍රතිවිරුද්ධ පැත්තේ සිට ඉරි ආකාරයට ඉදෙයි සිදුවේ.

• කෙසෙල් ස්වාභාවිකව ඉදෙන විට නටුව කළු/දුඹුරු පැහැ වේ

කෙසෙල් කෘතිමව රසායනික ද්‍රව්‍යයක් මඟින් ඉදවද්දී කෙසෙල් ගෙඩි දෙකක් අතර ස්ථාන කොල පැහැයෙනුත් පිටතට නිරාවරණය වන ස්ථාන කහ පැහැයෙනුත් ඉදී ඇති බව නිරීක්ෂණය කළ හැක.

ගෙඩිය කහ පැහැති වූවත් නැට්ට කොල පැහැයක් ගනී

කෘත්‍රිමව ඉදුණු පලතුරු සම්බන්ධ ආරක්ෂිත පියවර

• සම්පූර්ණයෙන් ඉදුණු පලතුරු වෙනුවට අඩක් ඉදුණු පලතුරු මිලදී ගැනීම

• මිළදී ගත් විගස පලතුරු හොදින් සේදීම

• ආහාරයට ගැනීමේදී පොත්ත ඉවත් කර ආහාරයට ගැනීම

• ආහාරයට ගැනීමට පෙර පලතුරු කොටස්වලට කපා වෙනසක් ඇත්දැයි හොදින් නිරීක්ෂණය කිරීම.

නිවෙසේදී කළ හැකි පලතුරු ඉදවීම් ක්‍රම

• ඉදුණු පලතුරු, නොඉදුණු පලතුරු හා තැබීම

• වැසුණු කුටීරයක් තුළ තැබීම

දහයියා මත හෝ පිදුරු මත අමු පලතුරු තැබීම

• අඹ, අලි පේර ඉදවීම සඳහා හාල් යෙදූ බදුනක අමු අඹ තැබීම

• පලතුරු වැසුණු බදුනක දමා එතුලට ඉදුණු මිරිස් කරලක් දැමීම

 

සැකසුම

වෛද්‍ය සසිනි දිමිංගුආරච්චි

වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාඨි

ආයතනය, කොළඹ විශ්වවිද්‍යාලය.

 

 

 

 

කප් කේක් උඩ නත්තල් ගස්

$
0
0
දෙසැ 23, 2019 01:00

 

ක  ට   ට    ර   ස  ට‍   කෑ ම   හ  ද   මු

 

නත්තල් කාලයට නත්තල් ගස් නම් නැතුවම බැරි දෙයක්. නිවසේ සාදයට පැමිණෙන හිතවතුන්ට නත්තල් ගසක් නිරූපණය වෙන කප් කේක් එකක් නිර්මාණය කරන ආකාරය අන්තර්ජාලයේ පළ වෙලා තිබෙනවා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

හිම සහ නත්තල් ගස් සඳහා

අයිස් ක්‍රීම් කෝන් 12 ක්

සීනි ග්‍රෑම් 910 ක්

ලුණු රහිත බටර් ග්‍රෑම් 454 ක්

කිරි හෝ ක්‍රීම් මිලි. 15-30

වැනිලා රසකාරක මිලි. 5

කොළ වර්ණ කාරක

පෙබල්ස්

කප් කේක් සඳහා

පිටි ග්‍රෑම් 180

කොකෝවා කුඩු ග්‍රෑම් 60

බේකිං සෝඩා ග්‍රෑම් 6

උණුකර ගත් බටර් ග්‍රෑම් 115

ලුණු ග්‍රෑම් 3 ක්

සීනි කෝප්ප ග්‍රෑම් 267

බිත්තර 2 ක්

වැනිලා සාරය මිලි. 5

කෝපි මිලි. 60

උණුකර ගත් බටර් ග්‍රෑම් 115

 

සාදන ක්‍රමය

පළමුව පිටි, බටර්, සීනී, කෝකෝවා, කෝපි, බිත්තර, වැනිලා, බේකිං පවුඩර් සියල්ලම හොඳින් මිශ්‍ර කර ගන්න. පසුව සෙල්සියස් අංශක 350 උෂ්ණත්වයට විනාඩි 5- 10 අතර කාලයක් උදුන රත්වන්නට හැර කලින් සාදා ගත් මිශ්‍රණය කප් කේක්වලට දමා පෙර උෂ්ණත්වයටම විනාඩි 15- 20 අතර කාලයක් බේක් කර ගන්න පුළුවන්.

බටර්, සීනි , කිරි එකතු කර ක්‍රීම් වන තුරු හොඳින් මිශ්‍රකර ගන්න. මෙම මිශ්‍රණයෙන් කොටසක් ගෙන එයට කොළ වර්ණ කාරක යොදන්න.

බේක් කර ගත් කප් කේක් ගෙන, ඊට උඩින් අයිස් ක්‍රීම් කෝන් තබා එම අයිස් ක්‍රීම් කෝන් කොළ පැහැති අයිසිංවලින් නත්තල් ගහක ආකාරයෙන් සරසා ගන්න. දරුවන් කැමැති නිසා කෝන්වලට පෙබල්ස් පුරවන්නත් පුළුවන්. අයිසින් ෂුගර් උඩින් හලා ගන්න. දැන් ඔබේ කප් කේක් එක හිම වැටුණු නත්තල් ගස් වගේම දිස් වේවි.

 

 

PREPPY KITCHEN වෙබ් අඩවිය ඇසුරිණිි

මදාරා මුදලිගේ


කල් ඉකුත්වන දිනය දිග නම් හාල් හොඳ නැහැ

$
0
0
දෙසැ 23, 2019 01:00

උපුල් රෝහණ සභාපති ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

උත්සව සමය හේතුවෙන් සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු වගකිවයුතු පාර්ශව විසින් වෙළෙඳ පොළෙහි ඇති ආහාර ද්‍රව්‍ය සහ හෝටල් ආදිය පිළිබඳ පරීක්ෂා කෙරෙන බව පසුගියදා වාර්තා විය. භාවිතයට නුසුදුසු සහල් වෙළෙඳ පොළෙන් ඇල්ලූ බවද කියැවිණ. කවර තත්ත්වයන් යටතේ වුව පැහැදිලි වන්නේ අප අනුභව කරන ආහාර පාන පිළිබඳ විශ්වාසයක් තබන්නට අපහසු බවයි. එම තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මතය එහා ඉවුරෙන් විමසන්නේ එහෙයිනි.

මේ රටේ ආහාර පාන සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් ප්‍රශ්න නැඟුණ අවස්ථා තිබෙනවා. ඒ අතර ආපන ශාලා ප්‍රධානයි. මහජන පරීක්ෂකවරුන්ට මේ සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ල වුණා. ඔබ මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා විදිහට මේ ප්‍රශ්නය දකින්නේ කොහොම ද?

එක පැත්තකින් ඔබ අහන ප්‍රශ්නයේ සත්‍යයකුත් තියෙනවා. නමුත්, දැනට දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අපට හැකි පමණින් සේවා සැපයීම සිදු කරනවා. ඒත් අපේ වෘත්තියට අදාළ ගැටලු කිහිපයක් තියෙනවා. ඒ අතර ප්‍රධානත ම ගැටලුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තම සේවා සැපයීමට අවශ්‍ය සම්පත් සහ පහසුකම් හිඟවීම. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ වන විට සේවය කරන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්තව. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ආහාර සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දී කටයුතු කරන කාර්යාලයක් නෙවෙයි.

ආහාර සෞඛ්‍යයට අදාළව ප්‍රවාහන පහසුකම් සහ තවත් අවශ්‍යතා ඉටුකර ගන්න වෙන්නේ, අනෙකුත් රාජකාරී අවසන් කර ඉඩක් තිබුණහොත් පමණයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ආහාර සෞඛ්‍යයට අදාළ නීතිමය කටයුතු කිරීමට හා ඊට අවශ්‍ය දැනුම, ඉගෙනුම් අවස්ථා ලැබෙනවා අඩුයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නීතිමය කටයුතු කරගෙන යාමට නිසි ක්‍රමවේදයක් ස්ථාපිත වෙලා නැහැ. උදාහරණයක් විදිහට යම් වෙළෙඳසලකින් යම් නීතියක් උල්ලංඝනය වී අත්අඩංගුවට ගතහොත්, ඒ වෙළෙඳසලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය ලිපි ලේඛන සකස් කරන්නෙත්, අත්අඩංගුවට ගන්නෙත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. නමුත්, ඒ ක්‍රියාවලිය සිදුකරගෙන යන්න අවශ්‍ය පහසුකම් නැහැ. මේ තියෙන ක්‍රමවේදය තුළ ඕනෑ නම් වැඩ කරන්න පුළුවන් වගේම නොකර ඉන්නත් පුළුවන්. ඒ නිසා අපි කාලයක් පුරා ඉල්ලීම් කරලා තියෙනවා මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන්නැයි කියලා.

අඩුපාඩු තිබුණත්, ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් මේ කාර්යය කරන්න පුළුවන් කියලා කිව්වොත්?

දැනට රට තුළ පරීක්ෂකවරුන් ඉන්නේ 1977ක නිලධාරීන් පිරිසක්. ඒ අනුමත වෙලා තිබෙන සංඛ්‍යාව. මේ 1977 දෙනාගෙන් ක්ෂේත්‍රයේ රාජකාරී කරන්නේ 1500ක විතර නිලධාරි ප්‍රමාණයක් විතරයි. තවත් 300ක පමණ නිලධාරීන් පිරිසක් ආයතනගත වෙලා ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව ජනගහණයෙන් දස දහසට එක් අයකු බැගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉන්නට ඕනෑ. ආහාර සෞඛ්‍ය බලන අතරේ වෙනත් මහජන සෞඛ්‍ය ප්‍රශ්න උද්ගත වෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත්, ඩෙංගු ව්‍යාප්තිය වැඩිවන කාලවලට ආහාර පැත්තකින් තියලා ඩෙංගු ගැන බලන්නට ඕනෑ. අපි වෙනම දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරලා, තනතුරු ගණන වැඩි කරලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට වෙනම ඒකකයක් හදන්න කියලා අපි යෝජනා කරන්නෙ ඒ නිසයි.

ඔබ කියන්නේ, ක්ෂේත්‍රයේ ඉන්න නිලධාරීන් ප්‍රමාණවත් නැහැ කියලයි. වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක් ලෙස පැවැති හෝ පවතින රජයන්ට මේ ගැටලුව ඔබ පෙන්නලා දුන්න ද?

අපි දිගින් දිගටම ඉල්ලීම් කරලා තිබෙනවා. ඒත් ඉන්න නිලධාරීන් ප්‍රමාණය ඉහළට ගේන්න පැවැති කිසිම රජයක් උත්සාහ කළේ නැහැ. අපි නව රජයෙනුත් මේ ඉල්ලීම කරනවා. සෞඛ්‍ය සේවයේ නිවාරණ සේවාවේ තනතුරු වැඩි කළා කියලා ළඟ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. නමුත්, වෛද්‍ය, හෙද වැනි තනතුරු වැඩි කළාම ළඟ ප්‍රතිඵල දකින්න තියෙනවා. ආණ්ඩු කරන්නේ ඒ වැඩේ. මධ්‍යම රජයට වඩා පළාත් රාජ්‍යයේ මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ තනතුරු වැඩියෙන් තියෙනවා. ඒ නිසා පළාත් සභාවලින් මේ තනතුරු වැඩි කරන්න ඕනෑ.

පසුගිය රජය කාලේ මහජන පරීක්ෂකවරුන් ලෙස තෝරාගෙන පුහුණුවීම් කරලා පත්වීම් නොලැබුණ පිරිසක් ඉන්නවා නේද?

ඒ අයට පත්වීම් ලබාදීමට පසුගිය දිනක අනුමැතිය ලැබුණා. මැතිවරණයක් නිසා පත්වීම් දීමට නොහැකිව තිබුණා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ජනපතිවරයාගේ නියෝගයක් අනුව පත්වීම් දෙන එක තාවකාලිකව නැවැත්වුවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපි වෙන ම අනුමැතියක් ඉල්ලුවා. ඒ අනුමැතිය අපට ලැබිලා තියෙනවා.

දිවයින පුරා ධාවනය වන අන්තර් පළාත් මඟී ප්‍රවාහන බස් රථ තේ පානය සඳහා නවත්වන ආපනශාලාවල ආහාර කිසිසේත් ආහාරයට සුදුසු නැහැ කියලා චෝදනාවක් එල්ල වෙන්නේ දීර්ඝ කාලයක ඉඳලා, එතැනදී මහජන පරීක්ෂකවරු අල්ලස් ගන්නවාය කියන චෝදනාවත් එල්ල වෙනවා?

අපි 2015 අවුරුද්දේ මේ ගැන වෙන ම සමීක්ෂණයක් කළා. ඒ දත්තවලට අනුව ලංකාවේ මඟී ප්‍රවාහන බස් රථ නවත්වන ස්ථානවල ආපන ශාලාවලින් 80%ක ප්‍රමාණයක් සතුටුදායක නැහැ. ඒකට අදාළ විශේෂ වැඩසටහනක් මාර්ගස්ථ මඟී ප්‍රවාහන සේවා අධිකාරියත් එක්ක එකතු වෙලා අපි ක්‍රියාත්මක කරන්න උත්සාහ කළා. ඒ වැඩසටහන අසාර්ථක වුණේ දෙපාර්ශවයේම තිබුණු සහයෝගය අඩු නිසයි. ඒකට හේතුව තමයි අල්ලස් ගන්නවාය කියලා එල්ල වෙන චෝදනාව සම්පූර්ණයෙන් ම බැහැර කරන්නට නොහැකි වීම.

අපේ සමාජ ක්‍රමය තුළ ජීවත්වන ඕනෑ ම ආකාරයේ මිනිසෙක් අපේ වෘත්තිය ඇතුළෙත් ඉන්න පුළුවන්. මම සෘජුව ම අල්ලස් කියන කාරණය බැහැර නොකළත් මඟී ප්‍රවාහන බස් රථ නවත්වන ආපන ශාලාවල පාතාල ක්‍රියාකාරකම්වලට සමාන ක්‍රියාවලියකුත් ක්‍රියාත්මක වෙනවා. බොහෝ අවස්ථාවලදී, නිලධාරීන්ට පහරදීම්, තර්ජනය කිරීම් තියෙනවා. නමුත්, අපේ වැඩසටහන ඉදිරියට ගෙන යන්න සහයෝගය දෙන්න කියලා අපි කියලා තියෙනවා. ඒත් අපිට අවශ්‍ය සහයෝගය ලැබුණේ නැහැ.

පසුගිය කාලයේ අපිට දකින්නට ලැබුණා කල් ඉකුත්වුණ, රසායනික මිශ්‍ර කළ සහල් තොග පිටින් අත්අඩංගුවට ගන්නවා. මේ වගේ ජාවාරම්, කූට ව්‍යාපාරවලට එරෙහි හරි හැටි නීතිය ක්‍රියාත්මක නොවන බවත් ඇතැමුන් පවසනවා. නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ කවුද?

විශේෂයෙන් ම සහල් ඇතුළු එළවළු, පලතුරු වැනි දේවලට රසායනික ද්‍රව්‍ය එකතු කරනවා ය කියලා අපි බොහෝ කාලයක ඉඳලා නිලධාරීන්, බලධාරින් දැනුවත් කරලා තියෙනවා. අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් වසරකට සැක සිතෙන අහඹු ආහාර සාම්පල් 24ක් ගන්නවා. ඒ සාම්පල් රජයේ රස පරීක්ෂකට හෝ අනුමත රස පරීක්ෂකට හෝ එවනවා. එතකොට මේ වාර්තාවලට අනුව ලංකාවේ ආහාරවලට රසායනික ද්‍රව්‍ය එකතු කරනවාය කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ නීතියේ සහ ප්‍රමිතියේ හැටියට ලංකාවේ සහල්වලට කිසිම රසායනිකයක් එකතු කිරීමේ හැකියාවක් නැහැ.

නමුත් අපි දකිනවා සහල්වල කල් ඉකුත්වීමේ දිනය දීර්ඝ කාලයක් තියෙනවා. එහෙම තියෙන්නේ බොහෝ වෙලාවට යම් යම් රසායනික ද්‍රව්‍ය එකතු කරන නිසයි. අපේ රටේ රස පරීක්ෂකවරුන්ට පළිබෝධ නාශක හඳුනා ගැනීමේ ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා. මෑතක නම් එවැනි හඳුනාගැනීම් කරන්න පහසුකම් තියෙනවා කියලා කියනවා. නමුත්, සහල්, එළවළු, පලතුරු මත රසායනික ද්‍රව්‍යයක් අඩංගු කරලා තියෙනවා කියලා වාර්තාවක් ගන්න නීත්‍යානුකූලව කටයුතු කරන්න දැනටත් අපට හැකියාවක් නැහැ. නීත්‍යානුකූලව කටයුතු කරන්න නම් මාස තුනක් ඇතුළත වාර්තාවක් දෙන්නට ඕනෑ.

1980 අංක 26 දරන ආහාර පනතේ අනාවරණය කරගත් දින සිට මාස තුනක් ඇතුළත කටයුතු කළ යුතුයි කියලා පැහැදිලිව තියෙනවා. මාස තුන කියන එකත් අපට ප්‍රශ්නයක්. සහල්, එළවළු, පලතුරු කියන ඒවා ජනතාව ආහාරයට ගන්නවා. අපි උපරිම අපේ වගකීම කරනවා. මේ සම්බන්ධයෙන් වගකීම දරන ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා. එකක් ක්ෂේත්‍රයේ ඉන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, අනෙත් එක පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය. ඒ අයටත් යම් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. පසුගිය කාලය පුරා ම සහල් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නඩු පවරලා තියෙනවා. නමුත්, රසායනාගාර විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමේ ගැටලුව ඉක්මනින් විසඳ ගන්න පුළුවන් නම් මේ අඩුපාඩු මඟහරවා ගන්නත් පුළුවන්.

රසායනාගාරවල අඩුපාඩු නිවැරැදි කරන්නැයි කියලා මීට කලින් ඉල්ලීම් කරලා තියෙනව ද?

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්න කාලෙත් අපි මේ ගැන කියලා යෝජනාවලින් ලබා දුන්නා. ඊට පස්සේ රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාත් මැදිහත් වෙලා මේ කාරණය යම් තාක් දුරට ඉදිරියට ගෙනැවිත් තියෙනවා.වෛද්‍ය පර්යේෂණායතනය මුල්කරගෙන ආහාර පරීක්ෂා කිරීම හා විශ්ලේෂණ කිරීම සඳහා වෙනම ම රසායනාගාරයක් ස්ථාපනය කරන්නට විදේශ මූල්‍යාධාර යටතේ කටයුතු කරමින් සිටියා. එහෙත් ඒ කාරණය සාර්ථකව අවසන් කරගන්න පැවැති රජයන් දෙකට ම නොහැකි වුණා.

සමහර කෙටි ආහාරවල අඩංගු සංඝටක මත්ද්‍රව්‍යවලටත් වඩා සිරුරට හානිදායකයි කියලා බොහෝ දෙනෙක් පෙන්නලා දීලා තියෙනවා. ආහාරවල අඩංගුවිය යුතු රසායනික සංයුතියේ ප්‍රමාණය තීරණය කරන්නේ කවුද?

ප්‍රධාන වශයෙන් කෙටි ආහාරවල රස කාරක, රස උත්තේජක, වර්ණක, ප්‍රතිඔක්සිකාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය වගේ ගොඩක් දේවල් තියෙනවා. මේ දේවලින් දැනට ලංකාවේ ක්‍රියාත්මක ආහාර පනත යටතේ නිකුත් කරන නියෝගවලින් පාලනය කරලා තියෙන්නේ, සීනි, ලුණු සහ මේදය කියන තුනයි. සීනි සම්බන්ධයෙන් මේ වන විට වර්ණ සංඥා නිකුත් කරලා තියෙනවා. ලුණු සහ මේද කියන සංඝටක දෙකටත් අවශ්‍ය නියෝග නිකුත් කරලා මේ වන විට ක්‍රියාත්මක වෙමින් තියෙනවා. එහෙත් ඔබ අහන ප්‍රශ්නයේ තියෙන බරපතළ ම කාරණය තමයි මොනසෝඩියම් ග්ලුටොමේට් (monosodium glutamate) කියන රසායනික ය.

මේ රසායනිකය මේ වන විට සෑම කෙටි ආහාරයකට ම භාවිතා කරනවා. නමුත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතියක් ස්ථාපිත වෙලා නැහැ. උදාහරණයක් විදිහට කොත්තු, රයිස්, රෝල්ස්, පැටිස් කියන හැම ආහාරයකට ම මේ රසායනිකය භාවිතා කරනවා. මේ රසායනිකය අහිතකර තත්ත්වයන් ඇති කරනවාය කියලා බොහෝ පර්යේෂකයෝ පෙන්නලා දීලත් තියෙනවා. අපි විශ්වාස කරනවා මේ තත්ත්වය වත්මන් රජය විසින් පාලනයකට ලක් කරයි කියලා.

ඔබ පැහැදිලි කළා සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ රාජකාරිය හරි හැටි කරගන්න හැකි පරිසරයක් නැහැ කියලා. මේ තත්ත්වය වත්මන් රජයට පැහැදිලි කරන්න බලාපොරොත්තුවක් තියෙනවා ද?

ඉතාම පැහැදිලිව ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1500ක් වුවත් මේ කාර්යය කරගන්න හැකියාවක් තියෙනවා. ඒ නිසි කළමනාකාරිත්වයකින් යුතුව කළහොත් විතරයි. ඒත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒක කරනවාය කියලා අපට පේන්නෙ නැහැ. වත්මන් ජනපතිවරයා දිහා බැලුවාම යහපත් කළමනාකරණයක් සහ යහපත් රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාමේ වුවමනාවක් තියෙන බව අපට පේනවා.

ඒ නිසා මේ ඉන්න නිලධාරින් 1500න් උපරිම සේවාවක් ගන්න පුළුවන්. වසර දෙකක තාක්ෂණික පුහුණුවක් තියෙන නිලධාරීන් පිරිසක් අපිට ඉන්නවා. මේ ශ්‍රමය නිවැරැදි ලෙස කළමනාකරණය කරලා, ඉදිරියට රාජකාරිය අපහසුවකින් තොරව කළ හැකි පරිදි ක්‍රියාත්මක කරන නිවැරැදි වැඩසටහනකට අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් කළා වගේ අදුරේ අතපත ගාන්නේ නැතිව, වෙන ම ක්‍රමවේදයකට ගිහින් මේ නිලධාරින්ගෙන් ඉටු විය යුතු තාක්ෂණික කාර්යයන් හරි හැටි කරගන්න අවශ්‍ය ක්‍රමවේදයක් සකසන්න කියලයි.

දුමින්ද අලුත්ගෙදර

ලෙඩකර මරන වායු දූෂණය

$
0
0
දෙසැ 23, 2019 01:00

වෙනත් ප්‍රදේශවලින් උදෑසන පැමිණ සවසට යන මිනිස් ජ්‍රජාවත් සමඟ කොළඹ ජනගහනය මිලියන 1.5 ක් පමණ ය. මීට වඩා විශාල ජනගහනයක් සිටින නගරවල වායු ගුණ තත්ත්ව දර්ශකය 0- 50 ක යහපත් තත්ත්වයක පවත්වා ගෙන යයි. පෞද්ගලික වාහන වැඩි වීම හේතුවෙන් කොළඹ නගරයෙහි මාර්ග තදබදය දිනෙන් දින වැඩි වේ. එමගින් වාහනවලින් දහනය වන ඉන්ධන ප්‍රමාණය වැඩි වී තිබේ. ඒ නිසාවෙන් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය සක්‍රීය කර වැඩි ජ්‍රජාවකට පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීමට පෙළඹවිය යුතු ය.

දිවාලි උත්සව සමයෙන් අනතුරුව ඉන්දියාවේ නවදිල්ලි අගනගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල වායු දූෂණය වාර්තාගත ලෙස ඉහළ ගියේය. වායු දූෂණය හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී එම කලාපයේ පාසල් තාවකාලිකව වසාදැමීමට එරට බලධාරීන්ට සිදුවුණි. එම තත්ත්වය කොතරම් උග්‍ර ලෙස බලපෑවේද යත් ජනතාවට මුදල් ගෙවා පිරිසිදු වාතය ආශ්වාස කළහැකි වන පරිදි ඔක්සිජන්හල් ඉදිකිරීමටත් කටයුතු කෙරිණි. දිල්ලියේ සිදු වුණු මෙම තත්ත්වයෙන් ලංකාවටද යම් බලපෑමක් සිදුවන බවට මතයක් ද සමාජයේ ගොඩ නැගිණි.

සෞඛ්‍යයට සිදු වන බලපෑම

92 % ගෝලීය ජනතාව ආශ්වාස කරන්නේ පිරිසිදු වාතය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ. එසේ ම වායු ගෝලීය දූෂණය ලෝකයේ පළමුවැනි පරිසර දූෂණ ගැටලුව බවට පත්ව තිබේ. සැබවින්ම මෙය සුළුපටු කාරණාවක් නොවේ. අධික වාහන තදබදය , කාර්යක්ෂමව විදුලිය පරිභෝජනය ‍ නොකිරීම , ස්වභාවික පරිසර ඉක්මවා ගිය මිනිස් ක්‍රියාකාරකම්, වැනි කාරණා වාතය අපිරිසිදු වීමට බලපායි .වායු ගෝලීය දූෂණය හේතුවෙන් අලුත උපන් දරුවකුට අවුරුද්දක ආයුෂ කාලයක් අහිමි වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබේ. සාමාන්‍යයෙන් වායූ ගෝලීය දූෂණය වැඩි ඉන්දියාවෙහි ඒ හේතුවෙන් අලුත උපන් දරුවකුට අවුරුදු 03 ක ආයුෂ කාලයක් අහිමි වේ . තව ද එක් එක් රටවල පවතින වායූ දුෂණ තත්ත්වය අනුව මහජන සෞඛයට සිදුවන බලපෑමද වෙනස් වේ.

සාමාන්‍යයෙන් වායු ගුණ තත්ත්ව දර්ශකය ( AQI ) 0- 500 අතර ප්‍රමාණයක් දක්නට ලැබේ. නමුත් පසුගිය දිනවල දිල්ලියෙහි වායු ගුණ තත්ත්ව දර්ශකය ( AQI ) 900 ඉක්මවා යන ලදී. ශ්‍රී ලංකාවේ වායු ගුණ තත්ත්ව දර්ශකය ( AQI ) 160 අගයක් තිබිණ. වායූ දූෂණ තත්ත්වය හේතුවෙන් සාමාන්‍යයෙන් දවසකට සිගරට් 05 බීමෙන් සිදු වන හානියක් මිනිස් ජීවිතයට සිදු වේ. තව ද නවදිල්ලියෙහි දවසකට සිගරට් 55 ක් බීමෙන් සිදු වන බලපෑමට සමාන බලපෑමක් වායූ දූෂණය හේතුවෙන් ඇති වේ.

වායු දූෂණය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් සාමාන්‍ය ඇඳුම රෝගයේ සිට පිළිකාව දක්වා විහිදී යයි . විශේෂයෙන්ම පෙනහළු පිළිකා ඇති වීමේ වැඩි අවධානමක් දැක ගත හැකි ය. ඩීසල් වාහනවලින් එන ඩීසල් අංශු , කාබනික අංශු සහ අර්ධ දහනය වන රසායනික ද්‍රව්‍ය 200 ක් ආදී පිළිකාකාරක මඟින් පිළිකා තත්ත්වයන් ඇති වන බව International Agency for Research on Cancer මඟින් පෙන්වා දී තිබේ. ඒ හේතුවෙන් දියුණු රටවල, නගරවල ඩීසල් වාහන ධාවනය කිරීම නතර කිරීමට පියවර ගෙන තිබේ. එසේ නැතහොත් ඩීසල් වාහන භාවිතා කිරීමේදී භාවිතා කරන ඉන්ධනවල තත්ත්වය පරීක්ෂා කිරීමට ක්‍රමවේද යොදා තිබේ. ඇතැම් රටවල ඩීසල් වාහනවලට නව තාක්ෂණය යොදා ගැනීමෙන් පරිසරයට එකතු වන වායු තත්ත්වය හිතකර ලෙස සකස් කරලීමට පියවර ගෙන ඇත.

විවිධ වායූ අංශු පෙනහළුවලට ගොස් ලේ මාර්ගයට පිවිසීමෙන් අඝාත තත්ත්වය ඇති වීමට පුළුවන. අලුතින් කරන ලද status of air 2019 තුන්වන වාර්තාවට අනුව වායුගෝලීය දූෂණය මඟින් Type 2 දියවැඩියා තත්ත්වය ඇති විය හැකි බව පෙන්වා දී තිබේ. වායු දූෂණ තත්ත්වයන් මඟින් ඇතිවන රෝගී තත්ත්වයන් මඟින් පුද්ගල කාර්යක්ෂමතාවය දුර්වල වීම ද සිදු වේ.

ඉන්දියාවේ දිල්ලි නගරයට සිදු වූ තත්ත්වය කොළඹ නගරය සිදු නොවිණි . ලංකාවේ පිහිටා ඇති ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පසුගිය වසරේ දෙසැම්බර් මස දත්ත පරීක්ෂා කිරීමේදී කොළඹ නගරයෙහි වායු ගුණ තත්ත්ව දර්ශකය ( AQI ) 160 වැඩි ප්‍රමාණයක් තිබිණ. මීට මාස 02 කට ඉහතදී කොළඹ නගරයෙහි තත්ත්වය යහපත් විය . සාමාන්‍යයෙන් කොළඹ නගරයෙහි වායු ගුණ තත්ත්ව දර්ශකය ( AQI ) 50-100 ප්‍රමාණයක් පවතී . මෙම තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න පුද්ගලයකුට එතරම් බලපෑමක් නොවුණත් ස්වසන අබාධ තිබෙන පුද්ගලයකුට අහිතකර වේ.

පාර අයිනේ නිවසක ජීවත් වන්නන් , පාර අයිනේ වෙළෙඳසලක සේවය කරන්නන්, පාර අයිනේ සේවය කරන පොලිස් නිලධාරීන් ඇතුළු පාර අයිනේ වැඩි වශයෙන් ගැවසෙන පුද්ගලයන් වායු දූෂණය නිසා ඇතිවන ගැටලුකාරී තත්ත්වයන්ට නිරන්තරයෙන් මුහුණ දේ. විශේෂයෙන් ම පාර අයිනේ තිබෙන පාසල්වල දරුවන් වායූ දුෂණය නිසා සිදු වන ගැටලුකාරී තත්ත්වයන්ට වැඩි වශයෙන් මුහුණ දීම අගාභ්‍යසම්පන්න තත්ත්වයකි. පාසල් දරුවන්ට මෙම තත්ත්වය නිසා අද දින බලපෑමක් සිදු නොවුන ද අනාගතයේ දිනක විශාල බලපෑමක් සිදු විය හැකි ය.

වායූ දූෂණ තත්ත්වය හේතුවෙන් කොතරම් ජව සම්පන්න , නිරෝගී පුද්ගලයකුට වුවත් බලපෑමක් සිදු විය හැකි ය.

ඒ සඳහා මීට අවුරුදු 02 කට පෙර දිල්ලි නගරයේ පැවැත්වූ ක්‍රිකට් තරඟයකට සහභාගී වුණු අවස්ථාවේ දී සුරංග ලක්මාල් වමනය දැමීම, ඊට පැය දෙකකින් පසුව ඉන්දියන් ක්‍රීඩකයකු ද වමනය දැමීය උදාහරණ වශයෙන් පෙන්වා දීමට පුළුවන.

කෘෂිකර්මයට සිදු වන බලපෑම

සාමාන්‍යයෙන් වායූන්වලින් පිටවන ශුද්ධ අංශු ගස්වල කොළවල තැන්පත් වීම මඟින් ශාක වර්ධනය අඩාල වීමට පුළුවන. උදාහරණයක් වශයෙන් මීට අවුරුදු 20 කට පෙර ඉන්දුනීසියාවේ ඝන වනාන්තර ගිනි තැබීමෙන් ශ්‍රී ලංකාවේ කඳුරටට බලපෑමක් සිදු වීම පෙන්වා දීමට පුළුවන. ඉන්දියාවේ සහ ලංකාවේ ‍ වායු ගෝලීය තත්ත්වයන් පිළිබඳව සැටලයිට් තාක්ෂණය මඟින් Asian brown cloud ඔස්සේ සොයා බැලීමෙන් සහ සැටලයිට් තාක්ෂණය භාවිතා කර Opacity Monitoring System ඔස්සේ දූවිලි තත්ත්වය පිළිබඳව ද පරීක්ෂා කිරීමෙන් ශ්‍රී ලංකාවේ වායූ දූෂණය හේතුවෙන් කෘෂිකර්මාන්තයට සිදු වන බලපෑම් පිළිබඳව දැනුවත් වීමට පුළුවන.

brown Haze එක උඩට යාම සිදු වන්නේ වායු ගෝලයේ උඩ දූවිලි තට්ටුවක් තිබීම නිසා ය. එවිට සූර්යාලෝකය පහළට පතිත වීමක් සිදු නොවේ. එමඟින් ප්‍රභාසංස්ලේෂණයට බලපෑමක් සිදු වේ. ඒ නිසා වායු ගෝලයේ උඩ දූවිලි තට්ටුවක් තිබෙන නිරක්ෂය ආශ්‍රිත රටවල වගා කටයුතු පසුගාමී වීමක් දැක ගත හැකි බව අප දැනුම් දී තිබේ .

විද්‍යාත්මක පරීක්ෂණ

ලෝකයේ දියුණු රටවල වායු ගෝලයේ පවතින වායූන්වල ප්‍රමාණය ගණනය කර ගැටලුකාරී වායූන් හඳුනා ගැනීම සිදු කරයි. ශ්‍රී ලංකාවේ දුම් සහතික ගැනීමේදී අය කරන මුදලින් රජයට වෙන් කරන මුදල් ප්‍රමාණයෙන් ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය , ‍ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය , පැලවත්ත, නුවර යන ස්ථාවල වායූන් මැනීමේ ස්ථාන ස්ථාපිත කෙරිණි. වර්තමානයේදී මෙම ස්ථානවල වායූන් මැන බැලීම සිදු කළ ද අලුතින් එවැනි ස්ථාන ලංකාවේ ස්ථාපිත නොකළහ.

ව්‍යායාම් කිරීමේදී වැඩි වශයෙන් හුස්ම ගැනීමට සිදු වේ. වායු ගුණ තත්ත්ව දර්ශකය අනුව වායු දර්ශකය උඩට පහළට යෑමේදී අපගේ එදිනෙදා කාර්යන් කිරීම හෝ නොකර සිටීම කළ හැකි ය. උදාහරණයක් ලෙස උදේට සහ සවසට මාර්ග තදබදය ( traffic ) වැඩි වන විට, පාසලක් ළඟ තිබෙන අවස්ථාවන්වලදී ව්‍යායාම නතර කිරීමට උපදෙස් දීම දැක්විය හැකි ය.මෙමගින් සිදු වන්නේ පරිසර දූෂණය නැවැත්වීම නොව තිබෙන වායූ දූෂණ තත්ත්වයේදී මහජනතාව ආරක්ෂා වීමකි.

දිල්ලි නගරයේදී වායු ගුණාත්මකභාවය පහළ ගිය අවස්ථාවේ තිබුණු තත්ත්වයේදී නිවෙස්වලින් පිටතට නොයෑම, පිටතට යන විට මහජනයා මුඛ ආවරණ පැළඳීම , පාසල් දවස් 6 කට වැඩි ප්‍රමාණයක් වසා තැබීම , වැනි ක්‍රමවේද අනුගමනය කළේ ය . තව ද ඉන්දියාවේ නව දිල්ලි නගරයෙහි විවිධ සුවඳ වර්ගවලින් යුත් ඔක්සිජන් ඉන්දියානු රුපියල් 250 ගෙවා නිවාඩි 15 කට ආශ්වාස කිරීම සඳහා ඔක්සිජන්හල් ස්ථාපිත කෙරිණි. මෙම ක්‍රමවේදය තාවකාලික වුවත් අවස්ථානූකූලව උචිත ය .

ඔක්තෝබර් 28 දින දිල්ලියේ ආරම්භ වුණු තත්ත්වය ඔවුන්ට දැනෙන්නට පටන් ගත්තේ නොවැම්බර් 2 වන දිනයේදීය. චෙන්නායි නගරයට දැනීමට පටන් ගත්තේ නොවැම්බර් 04 වන දිනයේ ය . කොළඹ නගරයට දැනීමට පටන් ගත්තේ 06 , 07 වන දිනවලදී ය. කොළඹ සහ චෙන්නායි යනු මුහුද ළඟ තිබෙන නගර වේ. දින 15 තුළ දිල්ලි ජනයා හුස්ම ගැනීමට නොහැකිව පීඩනයට පත් වූ ආකාරයට කොළඹ නගරයේ ජනතාව මුහුණ දීමට සිදු නොවන බව විද්‍යාත්මක පරීක්ෂණ මඟින් සනාථ කර ඇත. එය ශ්‍රී ලංකාවට වාසනාවන්ත තත්ත්වයකි. කොළඔ නගරය මුහුදු සීමාවේ තිබුණ ද එමඟින් හිතකර වායූන් ආශ්වාස කිරීමක් සිදු නොවේ. කොළඹ නගරයෙහි වායු ගුණ තත්ත්ව දර්ශකය ( AQI ) 50-100 ප්‍රමාණයක් තිබුණ ද එම තත්ත්වය එතරම් හිතකර නොවේ.

විදේශ රටවල ක්‍රමවේද

වායූ දූෂණ තත්ත්වය මඟින් ඇතිවන අහිතකර ප්‍රතිඑල වැළැක්වීම සඳහා විදෙස් රටවල විධිමත් ක්‍රමවේද භාවිත කෙරේ . උදාහරණ ලෙස චීනයෙහි ඔක්සිජන්හල් ඉදිකර ඔක්සිජන් මුදලට ගැනීමට සැළැස්වීම, චීනයට කැනඩාව මඟින් වායුව පැක් කර එවීම පෙන්වා දිය හැකි ය.

තව ද ලොව දියුණු රටවල දිනකට මාර්ගවල ධාවනය කරන වාහන ප්‍රමාණය සීමා කර මහජනතාව පොදු ප්‍රවාහන සේවයට යොමු කර ඇත. උදාහරණයක් ලෙස ලන්ඩන් නගරයෙහි ප්‍රධාන නගරවලට පැමිණීමේදී වැඩි මුදල් ප්‍රමාණයක් ගෙවීමට සිදු වීම, වාහන නවත්වන ස්ථානවලින් වැඩි මුදලක් අය කිරීම , වැනි දෑ මඟින් පෞද්ගලික වාහනවල යෑමේ රුචිකත්වය අඩු කර පොදු ප්‍රවාහන සේවයේ ගමන් කිරීමට සලස්වා තිබීම පෙන්වා දිය හැකි ය .දියුණු රටවල දිනකට වාහනවල අංක පරීක්ෂා කර එක් දිනක ඔත්තේ වාහනත් , තවත් දිනක ඉරට්ටේ වාහනත් ධාවනය කිරීමට සළස්වා තිබීමෙන් මාර්ග තදබදය අඩු තර ඇත. මෙමගින් වායූ දූෂණය නිසා පරිසරයට සිදු වන හානිය අවම වී තිබේ.

සිදු කළ යුතු දෑ

වෙනත් ප්‍රදේශවලින් උදෑසන පැමිණ සවසට යන මිනිස් ජ්‍රජාවත් සමඟ කොළඹ ජනගහනය මිලියන 1.5 ක් පමණ ය . මීට වඩා විශාල ජනගහනයක් සිටින නගරවල වායු ගුණ තත්ත්ව දර්ශකය 0- 50 ක යහපත් වායූ ගෝලීය තත්ත්වයක් පවත්වා ගෙන යයි. පෞද්ගලික වාහන වැඩි වීම හේතුවෙන් කොළඹ නගරයෙහි මාර්ග තදබදය දිනෙන් දින වැඩි වේ. එමගින් වාහනවලින් දහනය වන ඉන්ධන ප්‍රමාණය වැඩි වී තිබේ . ඒ නිසාවෙන් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය සක්‍රීය කර වැඩි ජ්‍රජාවකට පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීමට පෙළඹවිය යුතු ය.

වායූ දූෂණය හේතුවෙන් ජනගහනයේ සෞඛ්‍ය තත්ත්වය පහළ වැටී ඔවුන්ගේ කාර්යක්ෂමතාව පහළ බසිනවානම් රට දියුණු කිරීමට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය අඩු විය හැකි ය. ඒ හේතුවෙන් වර්තමානයේ පවතින ලංකාවේ ආර්ථික දර්ශකය මනින ක්‍රමවේදය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු ය. ශ්‍රී ලංකාව රේඛිය ආර්ථිකයෙන් මිදී සංවෘත ආර්ථිකයකට ( circular economy ) යා යුතු වේ. ඒ සඳහා ලෝක බැංකුව විධිමත් ක්‍රමවේද ගත යුතු ව ඇත. තව ද වායූ දුෂණය නිසා සිදුවන අතුරු ආබාධවලින් ඇතිවන අහිතකර තත්ත්ව පාලනය කිරීම සඳහා කොස්ටරිකා, භූතානය , චීනය, සහ යුරෝපා සංගමයේ රටවල් අනුගමනය කරන ප්‍රතිචක්‍රීකරණය ක්‍රමවේද අනුගමනය කළ යුතු ය.

වායු දුෂණය සිදු වන ආකාරය, පාලනය කළ හැකි ක්‍රමවේද පිළිබඳව මහජනතාව නිරන්තරයෙන් දැනුවත් වී සිටිය යුතු ය. ළදරුවන්ගේ සිට සෑම පුද්ගලයකුම නිරන්තරයෙන් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර ගත යුතු ය. උත්සව කාල සීමාවන්වලදී රතිඥ්ඥා , නිලා කූරු වැනි දෑ අධික ලෙස භාවිත නොකිරීමට වග බලා ගත යුතු ය. තව ද පරිසර දූෂණය සිදු නොවන ආකාරයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතීන් සිදු කළ යුතු වේ.

විදේශ රටවල ක්‍රමවේදයන් අනුගමනය කිරීමට අධික වියදමක් දැරීමට සිදු වේ. නමුත් අපට හැකි ආකාරයෙන් ශ්‍රී ලංකාවේ පවතින වායු දූෂණ තත්ත්වයන් වළක්වා ගැනීමට දීර්ඝ කාලීන ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු ය. තව ද වායූ දූෂණ තත්ත්වය පාලනය කිරීම සඳහා අඩු වියදමකින් යුක්ත ක්‍රමවේද අනුගමනය කිරීමේ පටු මානසිකත්වයෙන් මිදී සිටිය යුතු වේ.

සටහන
මදාරා මුදලිගේ 

දෙසැම්බර් 26 වලයාකාර සූර්යග්‍රහණය

$
0
0
දෙසැ 23, 2019 01:00

සූර්යයා සහ පෘථිවිය අතරින් චන්ද්‍රයා ගමන් කිරීම හේතුවෙන් චන්ද්‍රයාගේ සෙවණැල්ලෙන් සූර්යයා වැසී යාම සූර්යග්‍රහණයක් ලෙස සරලව හඳුන්වන අතර සූර්යයා වැසී යන ආකාරය අනුව සූර්යග්‍රහණ ප්‍රධාන වර්ග 3 කට වෙන්කර දැක්විය හැකිය.

පූර්ණ සූර්යග්‍රහණ
අර්ධ සූර්යග්‍රහණ
වලයාකාර සූර්යග්‍රහණ

චන්ද්‍රයා පෘථිවිය වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරන අතර චන්ද්‍රයා පෘථිවියට ආසන්නයෙන් ගමන් කිරීමේදී පූර්ණ සූර්යග්‍රහණයකුත් චන්ද්‍රයා පෘථිවියට දුරින්ම පිහිටන අවස්ථාවකදී සඳෙහි පූර්ණ ඡායාව වැටෙන ප්‍රදේශය වලයාකාර සූර්යග්‍රහණයක් ලෙසත් උප ඡායාව වැටෙන ප්‍රදේශය අර්ධ සූර්යග්‍රහණයක් ලෙසත් හදුන්වයි.

සූර්යග්‍රහණ සැලකීමේදී පූර්ණ සූර්යග්‍රහණයක් සහ අර්ධ සූර්යග්‍රහණයක් ඇතිවීම අමාවක දිනයකදී සිදුවන අතර ඇතැම්විට එක් වර්ෂයකදී එකක් හෝ කිහිපයක් සිදුවන නමුත් සුර්යයා, චන්ද්‍රයා සහ පෘථිවිය ඒක රේඛීයව පිහිටීමෙන් ඇතිවන වලයාකාර සූර්යග්‍රහණ ලෙස හදුන්වන සූර්යග්‍රහණයක් සිදුවීම ඉතා විරල අවස්ථාවකි. මෙහිදී චන්ද්‍රයාගේ සෙවණැල්ල සූර්යයා වටා ආලෝක වළල්ලක හැඩයක් දිස්වන ආකාරයක් දක්නට ලැබෙන අතර එම වලයාකාර බව සමහර ප්‍රදේශවලට අර්ධ සූර්යග්‍රහණයක් ලෙස දිස්වේ.

වලයාකාර සූර්යග්‍රහණයක් වඩාත් කැපී පෙනෙන්නේ එය දිවා කාලයේ දර්ශනය වන අවස්ථාවකදී වන අතර මෙවැනි විරල වලයාකාර සූර්යග්‍රහණයන් 2019 දෙසැම්බර් 26 වන දින පෙරවරු 8.09 සිට 11.26 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවාසීන්ට දැකබලා ගැනීමට අවස්ථාව උදා වේ. වලයාකාර සූර්යග්‍රහණයෙහි උපරිම අවස්ථාව විනාඩි 3 යි තත්ත්පර 16 ක වැඩිම කාලයක් කිලිනොච්චියට නිරීක්ෂණය වන අතර සූර්යග්‍රහණයෙහි මුළු කාලය පැය 3 ½ කි.

මෙම සූර්යග්‍රහණයේ පූර්ණ ඡායාවෙහි විෂ්කම්භය 118 km ක් පමණ වන අතර එහි උපරිම අවස්ථාව දිස්වීම වවුනියාවට පෙ.ව 9.36 පමණ ද, කිලිනොච්චියට පෙ.ව 9.36 ට පමණ ද, යාපනයට පෙ.ව 9.35 ට පමණ ද, ත්‍රිකුණාමලයට පෙ.ව 9.38 ට පමණ ද, දිස් වේ.

2019 වසරේ නිමාවත් සමග ශ්‍රී ලංකාවාසීන්ට අත්විදීමට ලැබෙන මෙම වලයාකාර සූර්යග්‍රහණයේ මධ්‍ය රේඛාව උතුරු ප්‍රදේශයේ යාපනය නගරයට සහ කිලිනොච්චි නගරයට දකුණින් වැටී ඇති අතර මෙම ප්‍රදේශ යා කරන රේඛාවක සිට නරඹන්නකුට වලයාකාර සූර්යග්‍රහණය සමමිතිකව නිරීක්ෂණය කළ හැකි වේ.

ශ්‍රී ලංකාවේ වාකරේ නගරය සහ තලෙයිමන්නාරම යා කරන රේඛාවෙන් උතුරු ප්‍රදේශයට මෙම සූර්යග්‍රහණය වලයාකාර සූර්යග්‍රහණයක් ලෙසත් මෙම රේඛාවෙන් දකුණු ප්‍රදේශයට අර්ධ සූර්යග්‍රහණයක් ලෙසත් නිරීක්ෂණය කළ හැකි වේ.

ඒ අනුව මෙම සූර්යග්‍රහණය කොළඹ සිට නිරීක්ෂණය කරන්නකුට චන්ද්‍රයාගේ ඡායාවෙන් සුර්යයා වැසෙන ප්‍රමාණය 84% ක් පමණ ද, අනුරාධපුරය ප්‍රදේශයේ සිට නරඹන්නෙකුට 87% ක් පමණ ද, වලයාකාර සූර්යග්‍රහණය සිදුවන මධ්‍ය රේඛාවේ සිට නරඹන්නෙකුට 94% ක් පමණ ද සුර්යයා වැසී යන ආකාරයක් නිරීක්ෂණය කළ හැකි වේ.

මෙම සූර්යග්‍රහණය සෞදි අරාබියෙන් ආරම්භ වී ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාව හරහා ගමන් කර ඉන්දියන් සාගරය ඔස්සේ ඉන්දුනීසියාවෙන් පස්වරු 12.20 පමණ අවසන් වේ.

ආතර් සී ක්ලාක් ආයතනය මගින් මෙම සූර්යග්‍රහණය නිරීක්ෂණය සදහා උතුරු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පර්යේෂණ මට්ටමින් කදවුරු පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතින අතර ඒවා මන්නාරම, වවුනියාව, යාපනය වැනි නගර කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට නියමිතයි.

මෙම සූර්යග්‍රහණ අවස්ථාව කිසිසේත් පියවි ඇසින් නිරීක්ෂණය නොකළ යුතු අතර ඒ සදහා විශේෂිත සූර්ය පෙරහන් සහිත කණ්ණාඩි, වෑල්ඩින් කිරීමේදී භාවිතා කරන නොම්බර 14 කණ්ණාඩි, කඩදාසියක සිදුරක් සාදා එමගින් ලැබෙන ඡායාව සුදු තිරයක් මත ප්‍රක්ෂේපණය කිරීමෙන් හෝ ජල බේසමක් ආධාරයෙන් නිරීක්ෂණය කළ යුතු වේ. එක එල්ලේ පියවි ඇසින් මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමෙන් ඇස්වලට හානි සිදුවිය හැකි බැවිනි.

වලයාකාර සූර්යග්‍රහණ පිළිබඳ අතීතය දෙස බැලීමේදී අපට අසන්නට ලැබෙන්නේ 1955 වසරේ ජුනි මස 20 වන දින සිදු වූ සූර්යග්‍රහණයයි. එහිදී සූර්යයා විනාඩි 7 කුත් තත්ත්පර 8 ක් පමණ සඳෙන් වැසී තිබුණි. එකල මෙම සූර්යග්‍රහණය පිළිබදව විද්‍යාත්මක වැටහීමක් නොතිබූ බැවින් ජ්‍යෙතිශ්‍යවේදීන් සිදුකළ අනාවැකිවලට අනුව විශේෂයෙන් ශ්‍රී ලාංකික කාන්තාවන් විවිධ කරදරවලට ලක්වූ බව වාර්තා වී තිබේ. මෙම අවස්ථාවේදී බොහෝ දෙනා දොර ජනෙල් වසාගෙන නිවෙස් තුළට වී සිටි බවත්, කාන්තාවන් රූමත් වීම සදහා සූර්යග්‍රහණය ඇතිවන අවස්ථාවේදී වද කහ පානය කිරීමෙන් විශාල පිරිසක් උදරාබාධ වැනි රෝගවලට ලක් වී රෝහල් ගතවූවා මෙන්ම කිහිපදෙනෙකු මරණයට පවා පත් විය. 1955 දී සිදු වූ මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකා ඉතිහාසයට “වදකහ සුදිය” ඇතුළු ශ්‍රී ලංකා වාසීන්ට නොමැකෙන අත්දැකීම් රැසක් අත්කර දුන් සූර්යග්‍රහණයක් ලෙස ඉතිහාසයට එකතු වී තිබේ.

වලයාකාර සූර්යග්‍රහණයක මෑත යුගයේ අත්දැකීම ශ්‍රී ලංකා වාසීන්ට හමුවන්නේ 2010 වසරේ ජනවාරි 15 වන දින දර්ශනය වූ වලයාකාර සූර්යග්‍රහණයෙනි. එය විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයට වඩාත් හොදින් දර්ශනය වූ අතර එයද දකුණු ප්‍රදේශවලට දිස් වූයේ අර්ධ සුර්යග්‍රහණ ලෙසිණි. එදින වලයාකාර සුර්යග්‍රහණ අවස්ථාව පෙ.ව 9.35 ට ආරම්භ වී ප.ව 3.37 ට අවසන් වූ අතර සූර්යයාගෙන් 94% ක් පමණ චන්ද්‍රයාගේ සෙවණැල්ලෙන් ග්‍රහණය විය. එහි උපරිම අවස්ථාව ප.ව 1.24 ට පමණ සිදු විය.

2010 වසරේ ජනවාරි 15 වන දින දැකගැනීමට හැකි වූ මෙම වලයාකාර සූර්යග්‍රහණය මධ්‍යම අප්‍රිකාවෙන් ආරම්භ වී ඉන්දියානු සාගරය මතින් මාලදිවයිනට ආසන්නයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වී දකුණු ඉන්දියාව, බුරුමය, මියන්මාරය, ලාඕසය හරහා ගමන් කර චීනයේ නැගෙනහිර වෙරළින් අවසන් විය.

2010 දී සිදු වූ මෙම විරල සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවාසීන්ට තිස් අවුරුදු යුද්ධයක නිමාවත් සමග දර්ශනය වූ සුබ පෙර නිමිත්තක් ලෙස බොහෝ විද්වතුන් සැලකූ අතර මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමේ ප්‍රධාන නිරීක්ෂණ මධ්‍යස්ථාන 2 ක් මොරටුව, කටුබැද්ද ආතර් සී ක්ලාක් ආයතනය මගින් සංවිධානය කරන ලදී. ප්‍රධාන නිරීක්ෂණ කඳවුර යාපනය විශ්වවිද්‍යාල භූමියෙහි ද, දෙවන නිරීක්ෂණ මධ්‍යස්ථානය පුත්තලම ප්‍රදේශයේ වනාතවිල්ලුව හිද නවීන දුරේක්ෂ සහ සූර්යයා නිරීක්ෂණය කිරීමේ විශේෂ උපකරණද සහිතව ශ්‍රී ලංකාවාසී ජනතාවට අවස්ථාව ලබාදෙන ලදී. මෙහිදී යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ නිරීක්ෂණ කදවුරෙහිදී වලයාකාර සූර්යග්‍රහණය ඉතා හොඳින් දැක බලා ගැනීමට හැකි විය. එම අවස්ථාවේදී අහස අදුරු වී තරකා පවා අහසෙහි දිස්වීමට පටන්ගත් අතර මුළු පරිසරයේම සිසිල් සහ චමත්කාරජනක අත්දැකීමක් විඳගැනීමට එහි රැස්ව සිටි දහස් සංඛ්‍යාත පිරිසකට හැකි විය.

මෙම අතීත අත්දැකීම් හමුවේ දෙසැම්බර් 26 වන දින දැක ගැනීමට හැකියාව ලැබෙන වලයාකාර සූර්යග්‍රහණය හුදෙක් නැරඹීමකට පමණක් සීමා නොකොට විද්‍යාවේ දියුණුවත් ජනතාව තුළ ඇති උද්‍යෝගයත් හේතු කොට පර්යේෂණ මට්ටමේ වඩාත් වැඩදායී අත්දැකීම් රැසක් එක්කර ගැනීමට අවස්ථාවක් කර ගනිමු. මෙවැනි වලයාකාර සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවට නැවත දිස්වන්නේ 2031 මැයි 21 වනදායි.

 

චින්තන විජයවර්ධන
නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය)
ආතර් සී ක්ලාක් ආයතනය 

ශීලය ප්‍රදර්ශනය කිරීම බුදු දහමට විරුද්ධයි

$
0
0
දෙසැ 23, 2019 01:00

පුවක්පිටිය නෝනගම ශ්‍රී සුචරිත වර්ධනාරාම විහාරාධිපති කිරිවැල්දොල චන්දානන්ද ස්වාමීන් වහන්සේ

අධික ආශාවන් ඔස්සේ හඹා යාම හෝ අහිමි වී යන දේ ඔස්සේ තැවෙමින් හඬා වැටීම වෙනුවට අල්පේච්ඡතාවය කින් යුතුව ජීවත්වීමේ වටිනාකම කුමක් ද සහ බුද්ධ දේශනාවේ තුළ සඳහන් අල්පේච්ඡතාවය සහ සාමාන්‍ය සමාජය තුළ අල්පේච්ඡ බව ලෙස අප දකින කාරණාව සමානද යන්න පිළිබඳ පුවක්පිටිය නෝනගම ශ්‍රී සුචරිත වර්ධනාරාම විහාරාධිපති කිරිවැල්දොල චන්දානන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරති

යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් තුළ ධුතාංග, සීලාදී ගුණ ධර්ම රැඳී පවතිනවා නම් ඒවා පිළිබඳ පවසමින්, ඒවා ප්‍රදර්ශනය කරමින් සිටීම වෙනුවට ඒවා ආරක්ෂා කර ගනිමින් ජීවත් වනවා නම් එය ධුතාංග අල්පේච්ඡතාවය ලෙසින් හඳුන්වනවා. පරියාප්ති අල්පේච්ඡතාවය භික්ෂූන් වහන්සේලා කෙරෙහි පමණක් නොව ගිහියන්ටත් අදාළ වන කරුණක් තමන්ගේ දහම් දැනුම හෝ වෙන යම් දැනුමක් තවත් අයකු යටපත් කිරීම සඳහා හෝ ලාභ සත්කාර උදෙසා භාවිතා නොකිරීම පර්යාප්ති අල්පේච්ඡතාවය ලෙසින් හඳුන්වනවා.

*ස්වාමීන් වහන්ස අල්පේච්ඡ බව යැයි අප සිතා සිටින සංකල්පය සහ බුද්ධ දේශනාව තුළ සඳහන් අල්පේච්ඡ බව එකක්මද?

අල්පේච්ඡ බව එසේත් නැතිනම් අප්පෙච්ඡ යන වචනයේ අර්ථය මුලින්ම පැහැදිලි කරගත යුතුයි. "අප්ප"යන්නෙන් අදහස් වන්නේ "අඩු"යන තේරුම. එසේම ඉච්ඡ යනු "ආශාව". ඒ අනුව අප්පෙච්ඡ නැතිනම් අල්පේච්ඡ යනු ආශා අඩු බවයි. මධ්‍යස්ථ ස්වභාවය , උපේක්ෂා සහගත බව කියන්නෙත් මේ අල්පේච්ඡ බවට. අල්පේච්ඡ බව යැයි සඳහන් කළ විට අප බොහෝ අවස්ථාවල තේරුම් ගන්නේ සෑම දෙයක්ම අඩුවෙන් පාවිච්චි කිරීම ලෙසයි. නමුත් බුද්ධ දේශනාවේ අල්පේච්ඡ බව යනුවෙන් සඳහන් වන කරුණු සමඟ එම තේරුම් ගැනීම වඩාත් හොඳින් ගැළපෙන්නේ නැහැ.

 තමන් ළඟ ඇති ගුණ ධර්ම එළියට නොපෙන්වා සඟවාගෙන සිටීම අල්පේච්ඡ බව ලෙසින් බුද්ධ දේශනාවේ සඳහන් වනවා. යම් කිසිවෙක් කිසියම් මාර්ග ඵලයක් ලබා ඇතැයි සිතමු නමුත් එය ප්‍රදර්ශනය කිරීමෙන් වැළකී දිගින් දිගටම පවත්වාගෙන යාම අල්පේච්ඡතාවයට එක් උදාහරණයක්. ගිහි ජීවිතය තුළ වුවත් තමා ලැබූ කිසියම් වරප්‍රසාදයක් හෝ නම්බුනාමයක් අන් අයට කියාපාමින් ප්‍රදර්ශනය කිරීම අල්පේච්ඡ බවට පටහැනි ක්‍රියාවක් "මහිච්ඡ"බව ලෙස බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ එසේ තමා පිළිබඳව තමාම ආත්ම වර්ණනා කර ගනිමින් තම ගුණ ධර්ම ප්‍රද්ර්ශනය කර ගැනීම. ත්‍රිපිටකයේ, අංගුත්තර නිකායේ, අට්ඨක නිපාතයේ එන මහානාම සූත්‍රයෙහි අල්පේච්ඡ බව පිළිබඳව සඳහන් වෙනවා.

*ස්වාමීන් වහන්ස අල්පේච්ඡ බව සඳහා බුද්ධකාලීන උදාහරණ මොනවාද?

බුදුරජාණන් වහන්සේ සුන්සුමාර ගිරි ප්‍රදේශයේ මිගදාය වනන්තරයේ වැඩ වසන කාලයේ චේතිය නම් ජනපදයෙහි පිහිටි ජිනවංස නම් අභයභූමියක අනුරුද්ධ නමින් ස්වාමීන් වහන්සේ නමක් වැඩ වාසය කළා. උන්වහන්සේ නිතරම ප්‍රිය කළේ ජනාකීර්ණ ප්‍රදේශයකින් බැහැරව බෙහෙවින් නිස්කලංක තැනක වාසය කරන්න. එසේම උන්වහන්සේ හුදෙකලාව බෙහෙවින් අගය කළා. මෙසේ වැඩ වාසය කරන උන්වහන්සේට අපූරු අදහසක් පහළ වුණා. "අප්පිච්ඡායං ධම්මෝ නායං ධම්මෝ මහිච්ඡස්ස"ලෙසින් උන්වහන්සේ ඒ පිළිබඳ සඳහන් කළා. එහි අර්ථය "බුදුරජාණන් වහන්සේගේ ධර්මය අල්පේච්ඡ පුද්ගලයන් උදෙසා මිස මහිච්ච පුද්ගලයන් උදෙසා නොවෙයි"යන්නයි.

තවත් උදාහරණයක් නම්, බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ආරාමය වෙත දිනක් රාත්‍රියෙහි පැමිණි රාහුල තෙරුන් වහන්සේට රාත්‍රිය ගත කිරීමට හැකි තැනක් නොලැබීම හේතුවෙන් උන්වහන්සේ එදින රාත්‍රිය ආරාමයෙහි තිබූ වැසිකිළියක ගත කළා. පසුදින උදෑසන බුදුන් වහන්සේ වැසිකිළිය තුළට ගමන් කිරීමේදී එහි රාහුල ස්වාමීන් වහන්සේ සිටින බව දැන ඒ පිළිබඳව විමසීමක් කළා. එහිදී පෙර දින රාත්‍රියෙහි රාහුල හිමියන් එම ස්ථානයේ ගත කළ බව බුදුන් වහන්සේ දැන ගත්තා. කෙළෙසුන් නසා සිටි බැවින් බුදුන් වහන්සේට එහිදී කිසිදු කණගාටුවක් දැනුණේ නැහැ.

රාහුල ස්වාමීන් වහන්සේට උන්වහන්සේ ගිහි කල බුදුන්වහන්සේගේ පුතුණුවන් වූ බැවින් එම වරප්‍රසාදය භාවිතාකර එදින රාත්‍රියෙහි නවාතැන් ගැනීමට ස්ථානයක් ලබා ගැනීමට ඉඩ තිබූ නමුත් උන්වහන්සේ තුළ තිබූ අල්පේච්ඡ බව හේතුවෙන් එසේ තමා සතු බලතල භාවිතා කරමින් වරප්‍රසාද ලබා ගැනීමට උත්සාහ කළේ නැහැ. එසේම තමාට සිදු වූ දේ පිළිබඳ උන්වහන්සේ කනගාටු වුණේ නැහැ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පුතණුවන් නිසා වෙනත් පාර්ශවයක් විසින් ආරාමයෙහි තිබූ පහසුම කාමරය උන්වහන්සේට ලබාදුන්නත් එයින් ප්‍රමෝදයට හෝ ආඩම්බරයට පත් වන නසිකත්වයක් උන්වහන්සේ තුළ තිබුණෙත් නැහැ. පසුතැවීම හෝ ප්‍රීතියෙන් පිනායාම යන දෙකෙහිම අන්තයට නොගොස් මැදහත් සිතින් ඉවසීම අල්පේච්ඡතාවයේ ලක්ෂණයක්.

* භික්ෂු සමාජය සඳහා අල්පේච්ඡතාවය යන සංකල්පය ගලපා ගත හැක්කේ කෙසේද?

අල්පේච්ඡ බව කොටස් හතරකින් බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ධුතාංග අල්පේච්ඡතාවය, පරියාප්ති අල්පේච්ඡතාවය, අධිගම අල්පේච්ඡතාවය සහ ප්‍රත්‍ය අල්පේච්ඡතාවය ලෙසින් සඳහන් වන එම කාරණා හතර ප්‍රධාන වශයෙන් දේශනා කර තිබෙන්නේ භික්ෂුන් වහන්සේ අරභයා. භික්ෂූන් වහන්සේලාට ධුතාංග දහතුනක් නම් කර තිබෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධූතාංගධාරී භික්ෂූන් අතර අග්‍ර තනතුර දරුවා. නමුත් කිසිදු අවස්ථාවක උන්වහන්සේ තමා දැරූ තනතුර පිළිබඳව අන් අයට පවසමින් ඒ පිළිබඳ උදම් ඇනුවේ නැහැ. උන්වහන්සේ දිගින් දිගටම එම ධුතාංග ආරක්ෂා කරමින් පවත්වාගෙන ගියා.

යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් තුළ ධුතාංග, සීලාදී ගුණ ධර්ම රැඳී පවතිනවා නම් ඒවා පිළිබඳ පවසමින්, ඒවා ප්‍රදර්ශනය කරමින් සිටීම වෙනුවට ඒවා ආරක්ෂා කර ගනිමින් ජීවත් වනවා නම් එය ධුතාංග අල්පේච්ඡතාවය ලෙසින් හඳුන්වනවා. පරියාප්ති අල්පේච්ඡතාවය භික්ෂූන් වහන්සේලා කෙරෙහි පමණක් නොව ගිහියන්ටත් අදාළ වන කරුණක් තමන්ගේ දහම් දැනුම හෝ වෙන යම් දැනුමක් තවත් අයකු යටපත් කිරීම සඳහා හෝ ලාභ සත්කාර උදෙසා භාවිතා නොකිරීම පර්යාප්ති අල්පේච්ඡතාවය ලෙසින් හඳුන්වනවා.

සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන සතර මඟ සතර ඵල ලාභී භික්ෂුවක් විසින් තමන් මගඵල ලාභීන් බව සඟවාගෙන සිටීම, එය ප්‍රදර්ශනය නොකිරීම අධිගම අල්පේච්ඡතාව ලෙසින් හඳුන්වනවා. අල්පේච්ඡතාවය කාණ්ඩ කළ කොටස් හතරෙන් අවසාන කොටස ප්‍රත්‍ය අල්පේච්ඡතාවයි. භික්ෂූන් වහන්සේලාට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසය ලැබෙනවා. එසේ ලැබෙන සිව්පසය පමණ දැන ලබා ගැනීම සහ භාවිතා කිරීම ප්‍රත්‍ය අල්පේච්ඡතාවය ලෙස සඳහන් කරනවා.

*පන්සිය පනස් ජාතක පොත තුළ අල්පේච්ඡතාවයට උදාහරණ දෙන කතා වස්තු පිළිබඳවත් සඳහන් කළ හැකිද ස්වාමීන් වහන්ස?

පන්සිය පනස් ජාතක කතා පොත තුළ එන සියලුම කතාවල අල්පේච්ඡතාවය යන සංකල්පය අන්තර්ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නට පෙර බෝසත් අවධියේ උන්වහන්සේ ප්‍රගුණ කළ ගුණාංග අතර අල්පේච්ඡතාවය ඉහළින්ම තිබුණා. උදාහරණයක් ලෙස මඝ මානවක කතා පුවත පිළිබඳව විමසා බලමු. මඝ මානවකයා විසින් එක්තරා අවස්ථාවක ඔහුගේ පාවිච්චිය සඳහා සකස් කර ගත් ස්ථානය වෙනත් පුද්ගලයෙක් අයිති කර ගන්නවා.

ඒ පිළිබඳව තැවීමකින් තොරව ඔහු වෙනත් ස්ථානයක් සකස් කරගන්නවා. මේ ආකාරයට ඔහු ආරම්භ කරන ක්‍රියාවලිය බොහෝ පිරිස් එක් රැස්කර ගනිමින් කරන සමාජ සේවා කටයුත්තක් බවට පත්වෙනවා. ඔවුන් මං මාවත් තනනවා. රෝහල් විශ්‍රාම ශාලාදිය ඉදි කරනවා. අවසානයේදී ඔහු පිළිබඳව ඊර්ෂ්‍යාවෙන් පසුවන ගම් ප්‍රධානියකු ඔහු ඇතුළු කණ්ඩායම පිළිබඳ රජුට බොරු කේලාම් පැවසීම හේතුවෙන් මරණීය දණ්ඩනයට පවා නියම වෙනවා. නමුත් යහගුණ හේතුවෙන් ඔහු ඇතුළු පිරිස මරණයෙන් ගැලවෙනවා. පසු භවයක දිව්‍ය සම්පත් ලබන්නටත් ඔවුන් තුළ තිබූ අල්පේච්ඡ බව ඉවහල් වනවා.

අල්පේච්ඡතාවය යනු දෙලොවම යහපත් කරවීම සඳහා, සෑම පුද්ගලයකු තුළම තිබිය යුතු ඉතාම උසස් ගුණාංගයක්.

 

සටහන - දිල්රූ ජයසේකර
ඡායාරූප - චමිල ප්‍රදීප් ගුණසේන

යහමඟයි-දිවිමඟයි

$
0
0
දෙසැ 23, 2019 01:00

දිවිය යහමඟට යොමු වන්නට බුදු මඟ හෙවත් බුදු සමය විෂය කර ගත යුතුය. මේ ත්‍රිකය කේන්ද්‍රීය තැන්නකට ප්‍රවේශ විය යුතුය. ජීවිතය වඩාත් සාර්ථක තලයකට රැගෙන යන්නට නම් බුදු සමය ගුරු කොටගත යුතුය .බුදු මග, දිවි මග සරු තලයකට ගෙන යන යථාර්ථය අප සියලු දෙනාම තේරුම් ගත යුතුය. බුදු සමයේ කිසිඳු සැඟවුණු දෙයක් නොමැත. ඉවත දමන්නට දෙයක් නොමැත. බුදු රදුන් දෙසූ ධර්මය සියලුම සත්ත්වයා වෙනුවෙන් දේශනා කර තිබේ. සැමටම තේරුම් ගත හැකි සත්‍යය දහමක් බුදුරදුන් දෙසුවේය. මේ දහම ජීවිතයට විෂය කර ගනුයේ කීයෙන් කී දෙනා ද? නමට පමණක් බෞද්ධයන් වීමෙන් ඵලක් නොමැත. ඒ දහම නිසි ලෙස ගුරු කොට ගෙන තමන්ගේ දිවි මඟ සරු කර ගන්නට නිතරම දහමේ අන්තර්ගත හරය උරගා බැලිය යුතුය.

මේ උරගා බැලීම මතුපිටින් නොව ගැඹුරින් සිතා බැලිය යුතුය. මූලික වශයෙන් දිවියට ගෝචර කරන්නට පංචශීල පිළිවෙත, චතුරාර්ය සත්‍යය සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය යන අංශ කෙරෙහි පුද්ගලයාගේ විඥානය යොමු විය යුතුය. සෙස්සන්ට අවවාද - අනුශාසනා දෙන්නට පෙරාතුව තමන් නිසි මඟට යොමු විය යුතුය. තමන් වැරදි කර අන් අය යහමඟට යොමු කරන්නට අවවාද අනුශාසනා දීම අර්ථශූන්‍ය පිළිවෙතකි. මූලික වශයෙන් පුද්ගලයා නිසි මඟට පිවිසිය යුතුය. තෘෂ්ණාව දුරු කර පරාර්ථයට මූලිකත්වය දීම, ආත්මාර්ථය පිටුදැකීම, කෘතඥතාව ඇති වීම, දීමට ලැදි වීම, තමන්ගේ දිවියට දක්වන ඇල්ම අන් අයටත් දැක්වීම, ආතාර්ථිකා ශ්‍රද්ධාව ඇති කර ගැනීම, මිථ්‍යා ක්‍රියාවන්ගෙන් මිදීම යන කරුණුවලට මූලිකත්වය දිය යුතුය.

බුදු බණට සවන් දිය යුතුය. සවන් දීම පමණක් ‍ප්‍රමාණවත් නොවේ. එය ක්‍රියාවට නැංවිය යුතුය. දිවි මග මෝක්ෂ මාර්ගයට ප්‍රවේශ වන්නේ ප්‍රතිපත්ති ගරුකභාවය මතය. දන් දෙන්න මැලි නොවන්න. බොහෝ දේ පොදි ගහ ගෙන දිවි ගෙවන අය සමාජයේ එමටය. මේ පොදි ගොඩ මෙලොවින් යනකොට කිසිවක් රැගෙන යන්නේ නැත. රැගෙන යන්නේ තමන් සිදු කළ හොඳ හා නරක පමණය. පුද්ගලයා හොඳින් ජීවත් වූවා නම් ඒ හොඳ රැගෙන යන්නේ ය. ඒ හොඳ භව චක්‍රය කෙටි කර ගැනීමට අතිශය අනුබලයකි. නරක මත දිවි ගෙව්වා නම් භවය තවත් දිගු වනු ඇත.

නිවෙසට එක පිළිවෙතකුත් ඉන් පරිබාහිර තවත් පිළිවෙතකුත් අනුගමනය කරන අය සමාජයේ එමටය. සුරා බොන්නේ නැතැයි පිටතට හඟවන අය තම නිවෙසේදී දරුවන්ට, බිරියට වද දෙන අන්දම සුරා මතින් සිහි විකල්ව දිවි ගෙවන අය සමාජයේ අනන්තවත් සිටින බව අප කොතෙකුත් දැක ඇත්තෙමු. මේ දෙබඩි පිළිවෙත මුළුමනින්ම දුරු කළ යුතුය. තමන්ගේ නිවසේ පිළිවෙත පිටතටත් තිබිය යුතුය. නිසි දිවියක ස්වරූපය එය වනු ඇත.

බුදු සමයේ කිසිදු නීතියක් - රීතියක් පනවා නැත. බුදු දහම අනුගමනය කළ යුතු යැයි බුදු රදුන් අවධාරණය කළේ නැත. යම් දෙයක් කළොත් අත්වන ප්‍රතිඵල බුදු දහමෙහි පෙන්වා දී ඇත. සමාජයේ විවිධ චරිත දක්නට ලැබේ. ඒවා එකිනෙකාට ඉඳුරාම වෙනස් චරිත ය. බසයේ, දුම්රියේ නැත්නම් වෙනත් රථයක ‍ගමන් ගන්නා විට බෝධියක්, බුදුරුවක් දුටු විට නැගිට වඳින අයත් අප නිරතුරු දැක ඇත්තෙමු.

මෙය මිථ්‍යාවකි. මායාවකි. පුද්ගලයාගේ චෛතසිකය, පාරිශුද්‍ර විය යුතුය. පිරිසුදු චරිතය ‍ලොවටම ආදර්ශයකි. බුදු රදුන් රහසින්වත් පව් කළේ නැත. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවසානයේ මහා ප්‍රඥාවක් උදා කර ගෙන පරම සත්‍ය දහමක් ලොවට හෙළි කළේය. පුද්ගලයා නිවුනු සංවේදී තලයකට පත් වන්නේ ප්‍රතිපත්ති මතය. සමාජයේ සමහරු දිවි ගෙවන්නේ නොමැරෙනා අය ලෙසය. සදාකාලිකව දිවි ගෙවන්නට මෙන් බොහෝ අය කටයුතු කරති.

දිවියේ, ලෝකයේ සත්‍ය දහම වටහා නොගෙන අන්ධකාරයේ දිවි ගෙවන අයගේ සිරිත එය ය. අඳුරෙන් ආලෝකයට පිවිසිය යුතුය. එසේ නොමැතිව අඳුරෙන් අඳුරට වැටී දිවි ගෙවා අඳුරේම නැසෙන්නට කටයුතු නොකළ යුතුය. පුද්ගලයාගේ මරණය කොයි මොහොතේ කොයි ආකාරයෙන් සිදු වෙනවාද යන්න කිසිවකුට කිව නොහැකිය. එසේ කිව හැක්කේ මහා ප්‍රඥාවෙන් උපයුක්ත පරිපූර්ණ බුදුවරයකුට පමණි. ඒ අනුව නිතරම මරණයට සූදානමින් දිවි ගෙවා යහපත් දිවි මඟකට පුද්ගලයා නැඹුරුවිය යුතුය. සමාජයේ සැරි සරන චරිතවලින් අපට බොහෝ පාඩම් ඉගෙන ගත හැකිය. ඒ පාඩම් අපේ දිවි මඟ නිවැරදි මාර්ගයකට පිවිසෙන්නට කදිම සාධකයන්ය.

සියලු දෙනා බුදු මගෙහි ගමන් කරන්නේ නම් සමාජයේ අපරාධ සිදු වන්නේ නැත. අපරාධ බහුල වශයෙන් වැඩි වන්නේ බුදු ම‍ඟෙහි නොයෙන නිසාය. සමාජයේ මහ මඟ දිවි ගෙවන අය කොතෙක් ද, මෙයට මූලික හේතුව පින් පව් මත දිවිය තීරණය කිරීමය. නිවෙස්වල සුව පහසුවෙන් නිදන අයත් මහ මඟ පදික වේදිකාවේ නිදන අයත් ගැන විමසීමේ දී පෙනී යන්නේය. පුද්ගලයාගේ හොඳ නරක මත එබඳු ඉරණමකට ගොදුරු වූ බවයි. බුදුරුව, බෝරුක තමන්ගේ මනසට ගොදුරු වීමෙන් පහන් සංවේගයක් ජනිත වන්නේය.

බුදුරදුන්ට බුදුවන්නට සෙවණ දුන් බෝගස අප සළකන්නේ උතුම් වෘක්ෂයක් ලෙසය. බුදුරදුන් බුදු වී බෝ රුකට අනිමිස ලෝචන පූජාවක් කළේ බෝ ගසට කෘතඥතාව පළ කිරීමටය. මෙයින් ද බුදුරදුන් අපට ඉගැන්වූයේ කෘතවේදීත්වයයි. යමෙකු උපකාරයක් කළා නම් එයට කෘතඥතාව පළ කළ යුතුය. එය අතිශය මානව ගුණාංගයකි. අන් අයට සමච්චල් කරන අයද අපි දැක ඇත්තෙමු. මෙයද පුද්ගලයා කෙරෙහි දක්නට ලැබෙන ඌනතාවකි. අන් අයට සමච්චල් කොට තමන් අප්‍රමාණ සතුටක් ලැබීම ද අනුවණකමකි. මෙයද එක අතකින් මානසික රෝගී තත්ත්වයට පත්වූවකි. එය බුදුමගට පිටුපා යන අයකුගේ ලක්ෂණයකි. එහි ඵල විපාක විඳින්නට ලැබෙන්නේත් ඔහුටමය.

පුළුල් වූ පරමාර්ථ සාධනයට පිවිසිය යුතුව තිබියදී පටු පරමාර්ථවලට යොමුවන්නේ බුදුමග ස්වකීය දිවියට ගෝචරකර නොගැනීම හේතුකොට ගෙනය. දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ගය යන චතුරාර්ය සත්‍ය දහම දිවි මගට ගෝචර කරගෙන පුද්ගලයා කල්පනාවට ‍යොමු වීම අතිශය පුණ්‍යකර්මයකි. නිතර අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණ මෙනෙහි කළ යුතුය. දිවිය අනිත්‍යයයි එයට සමගාමීව දුක්ඛයි ‍එමෙන්ම ආත්මයෙන් මේ දිවිය අවසන් නොවී අනාත්ම තත්ත්වයට පත්වන්නේය යන්න කෙරෙහි පුද්ගල මනස යොමු කළමනාය. පුද්ගල චරිතය සුදෝ සුදුවන් චරිතයක් බවට පත්කර ගැනීමට විෂය කරගත යුත්තේ බුදුදහමය. බුදුමගට සමකළ හැකි දහමක් ලොව තවම පහළවී නැත.

අන්‍ය ආගමිකයන් ද බුද දහම කෙරෙහි ස්වකීය ප්‍රඥාව මෙහෙයවීම මත ඒ ම‍ඟෙහි ගමන් කළ අය බොහෝ ය. මෙයට හොඳම නිදසුනකි. ‘බර්ට්‍රම් රසල් චිත්තකයා’ මොහු උපතින් කිතුණුවකු වුවද ස්වකීය ප්‍රඥාව බුදුමඟට යොමු කිරීම මත බුදුමඟත්, බුදු රදුනුත් දිවි මඟට විෂය කරගත්තේය. ඒ ඔස්සේ ‘බර්ට්‍රම් රස්ල්’ චින්තකයා අතිශය සහනයක් ලැබුවේය.

 

කොළඹ දිසාවේ සංඝනායක කොළොන්නාව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, ගොතටුව පාරමිතා
ශ්‍රී මහා බෝධිමලු විහාරාධිපති, ලේඛනසූරී, ශාස්ත්‍රපති, පණ්ඩිත අරම ශ්‍රී ධම්මතිලක නාහිමි

Viewing all 10762 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>