මෙතෙක් දියත උයනට දින වකවානුවල එතරම් විශේෂයක් නොවීය. ඒ නිතර දෙවේලේ කොයි කවුරුන් හෝ ඒ ඉසව්වේ ගැවසුණු නිසාය.
ඒ තැනක වෙළෙඳ කුටි ය. තව ඉසව්වක විසිතුරු මසුන් පෙළකි. උයන සිසාරා සුසැදි තුරු වැල් ය. එහි කොනක ළමා ක්‍රීඩාපිටිය දියවන්නාවට සැඳෑවේ ගොඩබස්වන ‘සී ප්ලේන්’ අවට ගුගුරුවාගෙන පහත් වන විට කාගේත් අවධානය හැරෙන්නේ එදෙසටය.
ඒ සියල්ල කලෙක පටන් දියත උයනේ පැළපැදියම්ව තිබූ අංගය. එහෙත් දැන් සෑම බ්‍රහස්පතින්දාකම ඒ සියල්ලේ අගය තවත් දෙගුණ තෙගුණ කරන කලාංග පෙළක් ඊට එකතු වේ.
‘ශිල්ප THURSDAY’
හැදෙන රටට
සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත වෙළෙද ප්‍රදර්ශනය... ’
ඒ අපේ අභිනව සුබ නිමිත්තයි. මෙතැන් පටන් දිවයින පුරා විහිද විසිරී සිටින සාම්ප්‍රදායික අත්කම් නිර්මාණකරුවන් රැසක් ඒ නිර්මාණ ද රැගෙන දියත උයනට පැමිණේ. ඒ සොබාදහමෙන් නෙළා ගත් ස්වභාවිකත්වයේ ගුණ සුවඳට පරිසරයෙන් සපයා ගත් වර්ණ, හැඩතල සහ සොබාවික සුවඳ මුසු කරමිනි.
ඒ අපූර්වත්වය කොළොම්තොටට කැන්දාගෙන එන්නෝ රැසකි. අපේ මේ සූදානම ඔවුන්ගෙන් ඇතමෙක් ඔබට හඳුන්වා දෙන්නටය. සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත නිර්මාණකරුවන් පණ සේ සලකා ඇප කැප වී නිර්මාණය කරන ස්වභාවික නිෂ්පාදනවල රුව ගුණ කියා පාන්නටය.
දැන් හස්ත කර්මාන්ත ශිල්පින් පෙළක් වටා සැරිසරන්නට යි අපගේ සූදානම. ඔබත් එන්න මේ විචිත්‍ර අඩවියේ ඒ අපූරු අත්දැකීම විඳගන්න. මේ වේවැල්, පිත්තල, මැටි , ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ජාතික ශිල්ප සභාවෙන් දියත් කෙරෙන නවමු ව්‍යාපෘතියකි.
‘අපි වැඩ දාන්නේ
රටින් ගෙන්වන බතික්වලට’
හා පුරා කියා අප හමුවන්නේ බතික් නිර්මාණ ශිල්පිනියකි.
එම්.ඩබ්. අයිරාංගනී (60) - ගාල්ලේ, හබරාදුව පදිංචි බතික් ක්ෂේත්‍රයේ 30 වසරක අත්දැකීම් ඇත්තියකි. ‘ෂර්මිලා බතික්’ ඇයගේ ව්‍යාපාරයයි.
‘ජාතික ශිල්ප සභාව අපට නිතර හොඳ වෙළෙඳපොළක් තනාදීමට කටයුතු කරනවා. අලෙවිපොළ පැවැත්වීම ඒ අතින් වැදගත් පියවරක්. බතික් නිර්මාණ කිරීම පහසු නැහැ. සාරියකට දවස් 4ක් විතර කාලයක් යනවා. එක්කෙනකුට ඒ වැඩේ කරන්න අමාරුයි.
දැනට ලංකාවේ රෙදි නිෂ්පාදනය කෙරෙන්නේ නැතිම තරම්. රටින් ගෙනෙන රෙදිවල තමයි අපට බතික් වැඩ දාන්න වෙලා තියෙන්නේ. අපේ රටේ රෙදි විවීම කළත් ඊට ලොකු වියදමක් දරන්න සිදු වෙයි කියලයි අහන්න ලැබෙන්නේ.
ඩයි මිලත් හුඟක් ඉහළයි. දිනෙන් දින ඒවා ඉතා ඉහළ ගණන්වලින් මිල වැඩි වෙනවා. දම් (පර්පල්) ඩයි කිලෝ එකක් කොරෝනා වසංගතේට කලින් තිබුණේ රුපියල් හත්දාහට. දැන් එය තවත් රුපියල් හත්දාහකින් මිල වැඩි වෙලා. දැන් ඒ මිල රුපියල් 14,000 යි. ඒ අධික වියදම් දරාගෙන අපි නිර්මාණ කරන්නේ. අපට සහන පොලී යටතේ ණයක් ලබා ගැනීමට පහසුකම් ලැබුණොත් එය ඉතා වැදගත්. දැන් අපට ණයක් ලබා ගැනීමත් ඉතා අමාරු තත්ත්වයක තියෙන්නේ.
පැරණි ඡායාරූප රාමු කිරීම වෙනම කලාවක්
ඒ දකුණේ හබරාදුවේ බතික් කලාවේ දුක. බතික් රටාවලින් ඉවතට ගත් අපේ දෑස් ඊළඟට ඇද බැඳ ගත්තේ ඉපැරණි ඡායාරූප පෙළකි. ඒ අතර ‘බේරේ ගෙදර’ විරුදාවලි ලද ලේක්හවුසියේ ඉපැරණි පින්තූරයක් පමණක් නෙවෙයි, කැලණියේ ඉපැරණි කැලණි පාලම, මහනුවර ශ්‍රී දළදා පෙරහරින් (ක්‍රි.ව.1880) මේ ඡායාරූප එකතුව සැදුම්ලත් වේ.
අත්කම් ශිල්පින් එකට රොඳ බඳින ප්‍රදර්ශනයෙන් ප්‍රදර්ශනයට රට වටා ගමන් කරනා ඒ අපූරු ඡායාරූප ශිල්පින් දෙසට දැන් අප පියවර තබනවා. මේ ඔවුන්ගේ කතාවයි.
‘අපි පැරණි ඡායාරූප නව තාක්ෂණය යොදාගෙන සකස් කරනවා. අධි තාක්ෂණික යන්ත්‍ර යොදාගෙනයි ඒ පැරණි පින්තූර ස්කෑන් කර ගන්නේ. පරණ වලව්වල විදියට හල්මිල්ල ලීයෙන් පින්තූර රාමු කරන්නේ.
සංචාරක හෝටල්වලින් අපට ලොකු ඉල්ලුමක් තිබුණා. විදේශිකයන් වුණත් මේවාට හරිම කැමතියි. දශක ගණනක් තිස්සේ අප මේ කලාවේ යෙදෙනවා. ඒත් අපට විශේෂ සහනයක් නම් තවම ලැබිලා නැහැ.
අපි සති අන්තයේ පිටකෝට්ටේ, මාදිවෙල, මහරගම, පිළියන්දල බස් නැවතුම්පළවල ප්‍රදර්ශන පවත්වනවා. ඒ හැම තැනකදීම ඉහළ ප්‍රතිචාර මහ ජනතාවගෙන් ලැබෙනවා.
අපේ මේ සැරිසැරීම එකකට එකක් වෙනස් නිර්මාණ අතරය. ඒ ඔස්සේ කඳුගැට අතරින් බලන්ගොඩට පිවිසෙන්නයි මේ ලෑස්තිය. ඒ තවත් බතික් නිර්මාණකාරියකගේ නිර්මාණ මැදුරටයි. තවත් එක් බතික් රටා මවන්නියක වන බ්‍රිජට් මාලනී ප්‍රනාන්දු ධෛර්යයෙන් දෛවය පරදවා නැඟී සිටින අපේ කාලයේ වීර මාතවක වනු ඇත.
ජීවිතයට ශක්තිය ලැබුණේ බතික්වලින්.
බතික් කලාවට නැඹුරු වූ ගුරු දෑතක කතාව
‘මං බළන්ගොඩ , ඉඹුල්පේ පදිංචියි. අවුරුදු 27ක් මං ගුරුවරියක් විදියට වැඩ කළා. ඒත් හිටි හැටියේ කථන හැකියාව මට නැති වුණා. ඒ නිසා ගුරු වෘත්තියෙන් ඉවත් වෙලා මං බතික් කර්මාන්තයට යොමු වුණා. මුලදී දවසට එක බතික් වැඩයි මං කළේ. දැන් දවසකට බතික් නිර්මාණ 100කට වඩා කරනවා.
ගෙදර උඩු මහලේ තමයි අපි බතික් වැඩ කරන්නේ. එය ගොඩනංවා ගන්න මේ ව්‍යාපාරයෙන් ලද ආදායම උපකාරි වුණා. ස්වාභාවික ඩයි පාවිච්චි කරලා නිර්මාණ කරන නිසා අපේ සරොම්, ගවුම්, කොට්ට උරවලට හුඟදෙනෙක් විශේෂ කැමැත්තක් දක්වනවා.
අපි මහෝගනී පොතු අරන් ඒවා කොටලා තම්බනවා. ඒ සාරය ඉටිකරලා සකස් කරගෙන බතික් නිර්මාණ කරන වැඩේ නිසා තව කාන්තාවන් කීපදෙනකුටම අර්ධ කාලීන රැකියා සැපයීමට මට පුළුවන් වුණා.
ගැනුම්කරුවන් ළඟට එනතුරු මං බලන් ඉන්නේ නැහැ. ඒ අය සොයාගෙන මං රජයේ කාර්යාලවලට යනවා. බළන්ගොඩ ඉඳන් බතික් ඇඳුම් බෑග් අරන් අප ඊයේ පාන්දර 2ට බස් එකෙන් කොළඹ එන්න පිටත් වුණේ. මට බතික් පුහුණුව ශිල්ප සභාවෙන් ලැබුණේ. මං ඒකට ඔවුන්ට ස්තූති කරනවා. ජීවිතේ දුෂ්කරයි තමයි. ඒත් ඊට නොබියව මුහුණ දුන් මට අලුත් හඬක් ලැබුණේ බතික් නිර්මාණ නිසයි...’
බ්‍රිජට් මාලනීගේ දිරිය කතාවෙන් තරමක් ඈතට ඇදෙන අපේ දෙපා පුංචි ආභරණ මන්දිරයක නවතිනවා. දිලේකා ලක්ෂිමා අතුරුගිරියේ පදිංචි තරුණියකි. ටෙරා - කොටා (Terra – cotta) ජුවෙලරි ඇයගේ ව්‍යාපාරයයි. මේ මැටි වලින් පලඳනා උපදවන ඔවුන්ගේ විස්තරයයි.
‘අපි දෑතින්මයි මේ ආභරණ හදන්නේ. ඊළඟට ඒවා සෙල්සියස් අංශක 800 උෂ්ණත්වයේ පුලුස්සනවා. ඉන්පසුව වර්ණ ගන්වනවා. ඇට වර්ග ගළපා හැඩතල වෙන්කරගෙන වෙන වෙනම තිබෙන ඇට එක වැලකට අමුණනවා.
එකම වැලේ අමුණන වෙනස් රටාවක වගතුග
අපිට බියගම කර්මාන්ත ශාලාවකින් මැටි ලබා ගන්න පුළුවන්. ඒත් හුඟ කාලයක් මේ නිර්මාණ වැඩවලට ඕනි. සිරුරට අහිතකර නොවෙන නිසා මේවාට හුඟදෙනෙක් කැමතියි. පරිසර හිතකාමී දෙයක් දේශීය වශයෙන් නිපදවන්න ලැබීම අපිටත් ආඩම්බරයක්.
කොරෝනා වසංගතයට කලින් අපට බිස්නස් තිබුණා. දැන් නම් අඩුයි. අපිට ලක්සලට නිර්මාණ ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබී තියෙනවා. විදේශිකයන්ගේ ලොකු කැමැත්තක් තිබෙන නිසා විදෙස් වෙළෙඳපොළට එකතු වෙන්න අපට අවස්ථාවක් ලැබෙනවා නම් හුඟක් වටිනවා.
අගයෙන් අඩු මැටිවලට ඩොලර්වලින් මිල නියම කිරීමට කැසකවන දිලේකා තවමත් කලින් පැවැති වෙළෙඳපොළ යළි සැකසෙන අපේක්ෂාවෙන් මඟ බලා සිටිනවා.
එතෙකින් නිමා නොවන දියත උයනේ විසිතුරු අත්කම් නිර්මාණ පෙළ වේවැල් නිෂ්පාදනවලට ඉහළ වටිනාකමක් ඇති වී තිබෙනවා. කොළඹ අවට පදිංචි වේවැල් නිෂ්පාදනයට නම් දරන පවුලකින් පැවත එන්නෙක් විදියට විමලසිරි පෙරේරා හඳුන්වාදිය හැකියි.
දුෂ්කරම වැඩේ වේවැල් හොයාගැනීම
ලන්තෑරුම්, පුටු, ලෑම්ප්ෂේඩ් වටකරගත් විමලසිරි මේ කියන්නේ වේවැල වටා ගෙතුණු ජීවිකාව පිළිබඳයි.
‘වේවැල් සපයා ගැනීමයි අපට තිබෙන දුෂ්කරම කාර්යය. ඒකට පර්මිට් වුවමනා කරනවා. වේවැල් සපයා ගත් පසුව ඒවා ප්‍රවාහනය කිරීමට අවශ්‍ය බලපත්‍ර අපට ශිල්ප සභාවේ මැදිහත් වීමෙන් ලැබෙනවා. හොඳ ඉල්ලුමක් වේවැල් නිෂ්පාදන සඳහා දැන් පවතිනවා. ඒත් පසුගිය ආණ්ඩු කාලයේ මේ කර්මාන්තය මරාදාලා තිබුණේ. ඒ අය පිටරටවලින් ගෙන්වන්නයි වැඩි ඉඩක් වෙන් කළේ.
දැන් ඒ කටයුත්ත නවතා දමා තිබෙනවා. අවුරුදු 13 ඉඳන් මං මේ රැකියාව කරන්නේ. ලංකාවේ වේවැල් ඉතිහාසය අතීත රජ දවස දක්වා දිවෙනවා. අත්අඩංගුවට ගත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දෑත් සුදු ජාතිකයන් ගැට ගැසූ බව කියන්නේත් කුකුල් වැල්වලින්.
අප මෙතෙක් මහ පොළොවේ රැඳුණේ මැටි, වේවැල්, බතික් සමඟයි. දැන් එහි වෙනසක් කරන්නයි අපේ සූදානම. අප දැන් කර පොවන්නේ කිතුල් කඳට
මිහිරැති කිතුල් කඳේ රුව
දකුණුලක ගාලු පුරේ - කහඳ ගමටයි අප එතැනින් කර පොවන්නේ. ඒ රංජිත් ප්‍රේමසිරිගේ ගම. ඒත් ඔහු පාරම්පරිකව කිතුල් කර්මාන්තය නොකළ බවයි අසන්නට ලැබෙන්නේ.
‘දැන් අවුරුදු 18ක් තිස්සේ මං මේ ව්‍යාපාරය කරනවා. මේ වැඩේට හැම කිතුල් කොටේම ගන්න බැහැ. මල් පීදෙන ගස් සුදුසු නෑ. මල් වැටුණු ගස්වල කඳ තමයි විසිතුරු භාණ්ඩවලට ගන්නේ. ඒ රංජිත්ගේ වැඩිදුර විස්තර කිරීමයි.
‘ලෙදර්’ කියමින් වෙළෙඳපොළේ අලෙවි කරන නිෂ්පාදන සියල්ල නියම ලෙදර් ද යන්න සමාජයේ විවාදයට ලක් වන්නකි. එය එසේ තිබියදී ‘Real Leather Goods’ වෙළෙඳ නාමයෙන් යුතුව එළු සහ හරක් සම්වලින් නිම වූ විවිධ භාණ්ඩ නියම ප්‍රමිතියෙන් යුතුව මිලට ගැනීමට දියතට පැමිණෙන ලෙසයි, නිමල් ජයරත්න මහජනයාට ආරාධනා කරන්නේ.
ඉනික්බිතිව කොළොම්තොටින් මිදී අපේ කල්පනාව නැවත දකුණුලකට අප කැඳවාගෙන යන්නේ නිර්මාණකාරියක්. ඈ චන්ද්‍රිකා කාරියවසම්. බෙන්තොට පදිංචි චන්ද්‍රිකා - පැදුරු, ටේබල් මැට්, පර්ස් දෝත දරාගෙන පාරිභෝගික ඔබ අපේක්ෂාවෙන් සිටිනවා.
සැප සනීපැති පන් නිමැවුම්
‘ගල්ලැහැ පන් පොලොන්නරුවේ ඉඳන් ගෙන්වාගෙනයි බෙන්තොට අපි නිෂ්පාදන කරන්නේ. කලින් තරම් විදේශ සංචාරකයන් දැන් එන්නේ නැහැ. ඒත් අපි අගහිඟකම් දරාගෙන නිර්මාණ කරනවා. අද ඉඳන් සෑම බ්‍රහස්පතින්දාකම අපි දියත උයනේ ඉන්නවා. ඇවිත් හොඳ නිෂ්පාදනවල අගය වටහාගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ.
වෛවර්ණ විවිධ නිමැවුම් ළඟින් අපි දැන් දෑස් නිලංකාර වන තරමේ දිස්නයක් විහිදුවන රාමු කළ අපූරු රූප පෙළක් වෙත යොමු වෙනවා.
එක් රාමුවක තුන්පත් රෑනක්. ඊට යාබදව මල් වැලක්. එක පෙළට එල්ලා තිබෙන්නේ මිනිස් කැලක දින ගණනාවක වෙහෙස මහන්සිය.
තුන්පත් රෑනක රූප වැඩ දාලා ගන්න පැය එකහමාරක් දෙකක් අපට ගත වෙනවා. දිලිසෙන කුඩු තිය තියා පරෙස්සමට භාවනාවක් වගේ මේ වැඩේ කරන්න ඕනි. ක්ලිප් කටු, ඇණ වගේ අනෙක් අඩුම කුඩුම එකතු කරන් හීන්සීරුවේ මේ වැඩේ කරන්නේ.
ඒ ඉෂාරා සඳමාලි, වචනයෙන් අමුණන ‘ඕවල් ආර්ට්’ කලාවේ වග තුග. ඇය රාජගිරියේ බණ්ඩාරනායකපුර පදිංචිකාරියක්. දින ගණනකට කලින් ඇරඹූ නව ව්‍යාපාරයට දියත උයනේ විශේෂ වෙළෙඳ කුටියක ඉඩ වෙන්වීම පිළිබඳ ඉෂාරා ඉතා සතුටින් සිටිනවා.
දියත උයනට සැඳෑ සිරිය කා වදින විට හාත්පස චමත්කාරයෙන් බැබළෙයි. මෙතැන් පටන් සෑම ගුරුදාකම ඒ සිරිය දෙගුණ තෙගුණ කරන්නට අත්කම් නිර්මාණ දෝත දැරූ කලා ශිල්පි ශිල්පිනියෝ ද එක් වෙති.
ඡායාරූප : සමන් ශ්‍රී වෙදගේ