මැයි 17 වැනිදායින් පස්සේ මුහුණුපොතේ රවුමක් ගියා. අපේ පොඩි එකත් සිංහ කොඩියක් එහෙම දාලා තමන්ගේ බුකියේ මුහුණත් තහඩුව වටේ රාමුව අලුත් කරලා තිබ්බා. එහෙම කරපු තව ගොඩක් අය හිටියා. ඒ අතර 'මරන්න පුළුවන්-සමරන්න බෑ'කියලා ඉඳහිට වැටුණු ඒවත් නොතිබුණා නෙවෙයි. ඒත් ඒවට සිංහ ගර්ජනා තරම් ලොකු සද්දයක් තිබුණේ නෑ. අපේ පෙට්ටිකඩේ කළු ජෙමා තමා මරුම වැඩක් කරලා තිබුණේ. පෙට්ටිකඩේ ලෑල්ලක ටිකක් ලොකු අකුරින් මෙහෙම ලියලා තිබුණා. 'සත්ති කුම්භ ජාතකය දැන් පෙන්නනවා'. ඉතිං දුම්වැටියක් පත්තු කරන ගමන්, වඩේ ගෙඩියක, ප්ලේන්ටියක රස බලන ගමන් එක එක්කෙනා ජෙමාගෙන් මෙහෙම අහනවා.
“මොකක්ද ජෙමා. මේක නාට්‍යයක්ද?“
“කොහෙද බන් පෙන්නන්නේ?“
ඒත් ඉතිං ජෙමාගෙන් කිසිම උත්තරයක් නෑ. එයා පාඩුවේ තමන්ගෙ පෙට්ටි කඩේට එන ගනුදෙනුකාරයන්ට වෙනදා වගේම සලකනවා. හිනාවෙනවා. කතා කරනවා. ඒත් තමන්ගෙ ලෑල්ලෙ ලියලා තියෙන දේ ගැන නම් මොකුත්ම කියන්නෙ නෑ. අඩුම ගාණේ ඒක ලීවෙ තමන්ද, කියලවත් කියන්නෙ නෑ. හොඳම ප්‍රශ්නය අහලා තිබ්බෙ මැගිලින් නැන්දා.
“මොකක්ද ජෙමා පුතේ 'සත්ති කුම්භ ජාතකය'කියන්නේ?“
ඒ පාර නම් ජෙමා ටිකක් නොසන්සුන් වුණා. ඉස්කෝලෙ මහත්තයයි, වෙද රාලයි දෙන්නත් ළඟ ඉඳිද්දී තමා මැගලින් නැන්දා එහෙම ඇහුවා. හැමෝම උනන්දුවුණේ මැගලින් ගැන නෙවෙයි, ජෙමාගෙ උත්තරය ගැනයි.
“ඇයි නැන්දෙ නැන්ද පන්සලේ සිල් ගන්නව එහෙම නේද? හාමුදුරුවෝ බණ දේශනාවකදිවත් ඔය ගැන කියලා දුන්නෙ නැද්ද?“ ජෙමා ඇහුවා.
“ආහ්. කියල දුන්නෙ නෑ ළමයෝ. සමහරවිට හාමුදුරුවන්ට අමතක වෙන්න ඇති. උන්නාන්සෙටත් දැන් ඉතිං වයසයි නොවැ“ මැගලින් නැන්දා කීවා. ජෙමා නිශ්ශබ්ද වුණා. ඉස්කෝල මහත්තයා, යමක් කියන්න හැදුවත් ආයෙම පැත්තකට වුණා.
“ඒකෙ ඇති දෙයක් නෑ. අර ගිරව් දෙන්නෙක්ගෙ කතාවක්“ මොකුත්ම නොකියා සිටීම එතරම් හොඳ නැති විත්තිය දැනගත් වෙදරාල උන්නැහේ කීවා.
“ඒක මිසක්. වැදගත් දෙයක් නම් ඉතිං ලොකු උන්නාන්සෙ නොකියා ඉන්න එකක් නෑ.“ එහෙම කියලා මැගිලින් නැන්දා ඉඳි ආප්ප මුල් දෙකක් අරන් යන්න ගියා. ජෙමා යාම්තමට හිනාවුණා. 'මං හිතාගෙන ඉන්නෙ සත්ති කුම්භ ජාතකය ආයෙම ලියන්න‘ ජෙමා හෙමිහිට කීවා.
“ඒකෙ ඉතිං ආයෙ ලියන්න දෙයක් තියෙනවයැ, ලියල නොවැ තියෙන්නේ?“ වෙදරාල උන්නැහේ කීවා.
“මං හිතන්නෙ දැන් ඔය කතාවක් තියෙනවනෙ. 'නැවත ලියනවා', නැවත කියවනවා'එහෙම කියලා. ඒක ඔය පොත්පත්, එක එක කලා නිර්මාණවලට එහෙම අදාළව වැඩි දෙනෙක් පාවිච්චි කරන වචන දෙකක්“ ඉස්කෝල මහත්තයා කීවා.
“ආන්න හරි. ඔය ජාතක කතාවල ඉන්න සත්තු හරි පරණයි. අවුරුදු සිය ගණනක් නොවැ. ඉතිං අපි අලුත් සත්තු දාන්න ඕන. ගිරව් වෙනුවට 'කපුටෝ'ආදේශ කරලා ලියන්න තමා මං හිතාගෙන ඉන්නෙ“ ජෙමා කීවා. ඒ කතාවට වෙදරාල උන්නැහේ හිනාවුණා.
“ජාතක කතාකරුවා ඒ සත්තු දාලා තියෙන්නෙ ආවට ගියාට නෙවෙයි, ඒ ඒ චරිතවලට සුදුසු හින්දා. ඔය ගිරවුන්ට එහෙම කතා කරන්න පුළුවන්නෙ. ඒකයි. 'ඒ වෙනුවට 'කපුටෝ'දාලා හරියන්නෙ නෑ. මොකද, කපුටන්ට කතා කරන්න බෑනේ“ වෙදරාල උන්නැහේ කීවා.
“හරි හරි. ඔය ගිරව් වුණත් ඉතිං කතා කරනවා කීවට එහෙමම නෑනෙ. කවුරු හරි කියල කියල කට පාඩම් කරවපු දෙයක් ආයෙම කියවනවා මිසක්, හිතා මතා කතා කරන්නෙ නෑනේ“ ඉස්කෝලෙ මහත්තයා කීවා.
“එ්ක ඇත්ත. එහෙමනම් ඉතිං කපුටෝ දාලා ලියපන්.“ වෙදරාල උන්නැහේ පැත්තකට වුණා.
ඔය කතා බස් අස්සෙ ජය ඝෝෂාවක් ළඟ ළඟ ඇහෙන්න වුණා. ටික වෙලාවකින් ඒ සද්දය ගොඩක් කිට්ටුවුණා. බලන් ගියාම කොල්ලො කුරුට්ටෝ රැලක් පාර දිගේ 'රණ විරුවන්ට ජය වේවා'කිය කියා ඉදිරියට එනවා. හොඳටම බීලා, කොඩිවල ඉන්න සිංහයන් වුණත් බමන ගතියෙන් නලියනවා. ඔය අතරේ එක කොල්ලකුගේ සරම් කෙටිය කැඩිලා බිම වැටුණා. සරම ගන්න පහතට නැමෙන්න ටික වෙලාවක් යනවා. ඊටත් මනුස්සයට කෙලින් හිටගන්න බැරි තරම් මත්වෙලා වීසිවෙනවා. දෙපාරක් හිතපු නැති එයා අතේ තිබිච්චි කොඩිය අරන් ඉණ වටා පටලා ගත්තා.
“මදැයි. තව පොඩ්ඩෙන් වස නෝන්ඩිය වෙන්නේ?“ එයා ළඟම හිටපු කෙනාට එහෙම කියනවා.
“නෑ. ඉතිං කොඩියකින් හදිසියකට ඔය වගේ ප්‍රයෝජනයක් හරි තියෙන්න එපායැ“ එයත් උත්තර දෙනවා. මං හැරිලා ජෙමා දිහා බැලුවා. එයා පාඩුවේ ප්ලේන්ටි වත් කරනවා. සමහර විට ඒ ගමන් 'ගිරවා'වෙනුවට 'කපුටා'ආදේශ කිරීම ගැන හිතනවා වෙන්න ඇති.
බණ්ඩි රාල