රොහාන් පෙරේරා
රොහාන් පෙරේරාගේ අධයක්ෂණයෙන් හැඩවුණු නවතම චිත්‍රපටය ‘ඒ ලෙවල්’ මේ දිනවල ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලාවල සාර්ථක ලෙස තිරගත වෙයි. කෙටි චිත්‍රපටකරුවකු ලෙස සිය සිනමා ගමන අරඹන ඔහු පළමුව නිර්මාණය කිරීමට යොමුවූයේ ‘සමනල සිත්තම්’ නම් චිත්‍රපටය වුවත්, එය නිර්මාණය නොවීම නිසා ඔහුගේ අවධානය යොමුවන්නේ ‘හීන හොයන සමනල්ලු’ නිර්මාණය දෙසට ය. ඒ අනුව රොහාන්ගේ තිරගත වන පළමු දිගු චිත්‍රපටය වන්නේ ‘හීන හොයන සමනල්ලු’ ය. ඔහු ‘ඒ ලෙවල්’ පිළිබඳත්, සිය සිනමා ආගමනය පිළිබඳත් හෙළි කළ කතාබහකින් මේ ලිපිය සැකසිණි.
* “ඔබ දිගු කාලයක් විදේශ රටවල සිටියා. ඒ සිටි කාලය ඇතුළේදී දැක බලාගත් දේද ඔබගේ නිර්මාණ ජීවිතයට යම් බලපෑමක් කරන්නේ?”
“සම්ප්‍රදායික විදියට සිංහල හරි කලාව හරි ඉගෙන ගෙන පැමිණෙනවාට වඩා ගණිතය හරහා මට ලෝකය වටා යන්න හැකියාව ලැබුණා. ඒ නිසා මා ජීවිතය වෙනස් විදියට දැක්කා. මට අපේ රටේ තිබෙන සිනමා කර්මාන්තය පිළිබඳ, අපේ රට ගැන අගයක් දැනෙන්න ගන්නේ ඒ හරහායි. එළියට ගිහින් වසර අටක කාලයක් ඇතුළත කැනඩාවේ වසර පහක කාලයක්, ඇමෙරිකාවේ වසරකට වඩා කාලයක්, ජර්මනියේත් ගත කළ කාලය ඇතුළේ මා විවිධ දේ දැක්කා. ඔවුන්ගේ භාෂා පිළිබඳ දැනුම වැඩිවුණා. විදේශීය නිර්මාණ හොඳට රසවිඳින්න පුළුවන් වුණා. මගේ නිර්මාණවල වෙනස් ම හැඩයක් දකිනවා නම් ඒ දේ වුණේ මා එළියේ සිටි කාලය ඇතුළේ ලබාගත් දේ නිසයි.”
* “ඒ කියන්නේ සිනමා නිර්මාණ කිරීමට පෙර ඔබ යම් හැදෑරීමක් කළ බවද?”
“ඕනෑම විෂයයක් හදාරන අය මේ ප්‍රශ්නයේදි කොටු වෙනවා. යම් තැනකට ආවාට පස්සේ ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කළ දේයි අප සොයන්නේ. එවිටයි ඉන් එහාට අපට යා හැක්කේ. එතැනදි විධිමත් අධ්‍යාපනය කොහොමත් ගැළපෙන්නේ නැහැ. මා හැදෑරුවේ නොවිධිමත් අධ්‍යාපනයයි. චිත්‍රපට නැරැඹීම, චිත්‍රපට ගැන ලියැවුණු පොතපත කියැවීමයි මා කළේ. එහිදි හොඳ චිත්‍රපටවල තිරරචනා, ඉංග්‍රීසියෙන් ලියැවුණු පොතපත අරගෙන මා කියෙව්වා. මා ළඟ චිත්‍රපට දහස් ගණනක එකතුවක් තිබෙනවා. බොහෝ චිත්‍රපට මා නරඹා තිබෙනවා. ඒ අතරින් මා නැරැඹුවේ නැති චිත්‍රපටයක් පිළිබඳ යම් අයකු පැවසුවොත් මා ඒ චිත්‍රපටය සොයාගෙන නරඹනවා. ඒ නිසා මා හැදෑරීම් කටයුතු කරන්නේ චිත්‍රපට මඟින්මයි. සිනමාවට පිවිසෙන අයකුට පොතපත කියවා ඒ මඟින් නිර්මාණය වුණු නිර්මාණ නැරැඹීමෙන් යම් හැදෑරීමක් කළ හැකි බව කිව යුතුයි. කියැවීමයි මා මෙතැනට ගෙනාවේ.”
මේ කියැවීම හරහා නිර්මාණය කරන දිගු නිර්මාණ අතර සිනමා ප්‍රේක්ෂකයා හමුවට පළමුව පිවිසෙන්නේ ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයයි. ඊට පසුවය ඔහු ‘ඒ ලෙවල්’ චිත්‍රපටය නිර්මාණය කරන්නේ.
* “ඔබගේ දෙවැනි සිනමා නිර්මාණය වන ‘ඒ ලෙවල්’ ඒ ලෙවල් ළමයින්ගේ ක්‍රියාකාරකම් හා බැඳුණු චිත්‍රපටයක්. එවැනි වස්තුබීජයක් ඔබගේ සිතේ පහළ වන්නේ කෙසේද?”
“වැඩිහිටි පරම්පරාව යළිත් පාසලට රැගෙන යන්නට හොඳ තැනක් ගැනයි මා පසුගිය කාලයේ සිත සිතා සිටියේ. ඒ අනුව අපි සියල්ලන් ම පාසල් කාලයට යන්නට කැමැති බවයි මට හැඟුණේ. ඒ පාසල් කාලය අතරිනුත් අප යන්නටම වඩාත් කැමැති සාමාන්‍ය පෙළ පන්තියටද, හයේ පන්තියටද, පහේ පන්තියටද, ඒලෙවල් පන්තියටද යන්න දැයි මා සිතා බැලුවා. එවිට බොහෝදෙනෙක් වඩාත් කැමැත්තක් දක්වන්නේ ඒලෙවල් පන්තියට යන්නටයි. ඉන් පස්සේ එතැනට කොහොමද යන්නේ කියන කාරණය ගැන සිතන විටයි මේ චිත්‍රපටයේ එන වස්තුබීජය මගේ සිතේ පහළ වන්නේ. ඒ සිතට පැමිණෙන වස්තුබීජය බොහොම පුංචි කාරණවක්. ඒ කාරණාව ‘ඒ ලෙවල්’ චිත්‍රපටයේදි බොහෝ සංකීර්ණව වර්ධනය වුණා. එහිදි චිත්‍රපටයේ කතාව වර්ධනය කිරීමේදී මා අවදානමක් ගත්තා. ඒ කියන්නේ ඒ ලෙවල් කතාවක පන්තියක් තිබෙන්න ඕනෑ. ළමයි ටිකක් ඉන්න ඕනෑ. ගුරුවරු ටිකක් ඉන්න ඕනෑ. ඒ වගේ ම මේ කතාවේ කෙල්ලෙකුත්, කොල්ලෙකුත් ඉන්න වුවමනායි. ඒ කියන පොදු සාධක ටික තිබිය යුතුයි.
එහෙම නැත්නම් මේ කතාව හරහා ඒ ලෙවල් පන්තියේ ළමයකුට සිදුවුණු මොකක් හරි සිද්ධියක් හරි, පහ සමත් වුණු ළමයකුට වුණු කතාවක් වගේ දෙයක් ඒ ලෙවල් පන්තියක කතාවකට ගේන්න බැහැ. ඒ ලෙවල් කියන්නේ වයස අවුරුදු දහඅට සම්පූර්ණ වුණු ළමයින් සිටින ස්ථානයක්. එතැන ඉන්න කෙල්ලෝ කොල්ලන්ගේ ජීවිතය කියන්නේ වෙනම ම කතා කළ යුතු දෙයක්. අපි දැන් වුණත් ඒ ලෙවල් ගැන මතකයට නඟද්දි කිසිම දවසක අර ගුරුවරිය බොහොම හොඳයි එයා අපට ආදරයෙන් සැලකුවා කියලා කියන්නේ නැහැ. ඒ අතීතයත් එක්ක අපි මතකයට නඟන්නේ ඒ කාලයේ අප කළ පිස්සු වැඩයි. ඒ පිස්සු වැඩ මතකයට නඟද්දි අනුත්තර හා අහිංසා අනිවාර්යයෙන් ම මවන්නට වුණා.”
ඒ මැවීම ඔහු කරන ලද්දේ ඔහුටම ආවේණික වූ ක්‍රමයකට ය. එනම්, ඔහු දකින ලද මා දකින ලද ඉතා සරල ම ක්‍රමය නම් චිත්‍රපටයේ පළමු විනාඩි දහයේදි විතර බෝම්බයේ බොත්තම එබීම ය. ඊට පසුව ටික්... ටික්... ටික්... ගාලා එය උපරිමයට රැගෙන පැමිණිම ය. එසේත් නැත්නම් එය අන්තිමට පුපුරලා දැමීම ය. එසේ නොවුණහොත් ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයේදී කළ අයුරු මෙන් එය නිෂ්ක්‍රීය කර දැමීම ය. පිපිරීමට නොදීම ය. සරලව ලෝකයේ බොහෝ සිනමාකරුවන් කරනුයේ මේ දෙයම ය. සමහර නිර්මාණකරුවන් අසාර්ථකයැයි පවසන්නේ ඔහු කලින් කියන ලද ටික්...ටික්... ටික්... එක මිනිස්සු පිළි නොගැනීම ය. මේක බෝම්බයක්ද? මේක නිෂ්ක්‍රීය වුණාද? පිපිරුවාද කියන කාරණය ඔවුන් නොපිළිගැනීම ය.
* “ඒ නිසා ‘ඒ ලෙවල්’ චිත්‍රපටය සිනමාපටයකට නැඟීමේදී ඔබට යම් අවදානමක් ගැනීමට සිදුවූවාද?”
“මෙතැනදි මට තිබුණු අවදානම නම් මා බෝම්බය පත්තු කරන්නේ අහිංසාට සිදුවුණු අපචාරයක් හරහායි. මා අහිංසාට සිදුවුණු ඒ සිදුවීමේ තවත් එහාට ගියා. මට කියන්න වුවමනා වුණේ ඒලෙවල් කාලේ කියන්නේ අපට තනිවම තීරණ ගන්න පුළුවන් සමාජ වගකීමක් තිබෙන කාලයක් බවයි. ඒ කාලයේදි අපට ප්‍රශ්නවලින් පැනලා යන්න නොහැකි බවයි.”
ඔහු චිත්‍රපටයේ මවන අහිංසා බොහොම නිදහස්ව තීරණ ගන්න යුවතියකි. නිදහස්ව හැදී වැඩෙන යුවතියක ලෙස සිනමා ප්‍රේක්ෂකයා ඉදිරියට පමුනුවන ඈ මෙහි ප්‍රධාන චරිතයකි.
* “ඒ ප්‍රධාන චරිතය වන අහිංසා හරහා ඔබ බොහෝ දේ සිනමා ප්‍රේක්ෂකයන්ට පවසනවා”
“එතැන ලොකු අවදානමක් තිබෙනවා. ඒ ගැන මා දෙතුන් වරක් සිතුවා. සාමාන්‍යයෙන් පාසල් ප්‍රේමයේදී සිදුවන්නේ නිවැසියන් විරුද්ධ වීමයි. එක්කෝ එයාට ගමේ කොල්ලෙක් ඉන්නවා. එහෙමත් නැත්නම් බොහොම සාම්ප්‍රදායික විදියට ඒ වනවිටත් නිවෙසෙන් විවාහ යෝජනාවක් අරගෙන ඇවිත්, ඒකට බැහැයි කියන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා. මේ නිසා එතැනින් එහාට ගිහින් මේ නිර්මාණයේදි මා ඒ ලෙවල් කෙල්ලෙක් කළ හැකි උපරිම දේ ඉදිරිපත් කළා. එතැනදි ඈ පාසලෙන් ඉවත් වෙලා, ගෙදරින් ඇවිල්ලා, අවසානයේ තමන්ගේ ඥාතියකුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. ඈ අන්තිම මොහොතේයි කියලා දමන්නේ උඹ මටත් මෙහෙම කළා කියලා. අවසානයට ඒ මිනිහාට දඬුවම් දෙනවා. මා මේ ආකාරයෙන් නිර්මාණය හරහා පවසන විවිධ කාරණා මිනිස්සු කොහොම භාර ගනීවිද යන්න ගැන මට තිබෙන්නේ සැකයක්. කොහොම නමුත් මේ ගැන මා දැන් පැවසූ නිසා චිත්‍රපටය නරඹන සිනමා ප්‍රේක්ෂකයන් ඒ ගැන සිතන්නට පෙලඹේවි.”
*“‘ඒ ලෙවල්’ කියන්නේ යෞවන ප්‍රේමය ගැන කතා කරන නිර්මාණයක් නොවෙයිද”
“‘ඒලෙවල්’ කියන්නේ යෞවන ප්‍රේමය ගැන කතා කරන නිර්මාණයක් නොවෙයි. ඒ හරහා යෞවන ප්‍රේමයට යම් ඉඟියක් දී තිබෙන බවක් පෙනෙනවා නම් එය ඇත්තක්. මේ නිර්මාණය හරහා යෞවන ප්‍රේමය ගැන මා කතා කළා නම් පාසලේදි අනුත්තරගේ බැජ්එක ගලවා ගන්න තැනෙන් නතර වන්නේ නැහැ. ඒ වගේම අහිංසාට තවදුරටත් පාසල් එන්නට එපා යැයි කියන තැනදි ඒ සිදුවීම මා සාධරණීකරණය කරන්නේත් නැහැ. එහෙත් මා ඒ අවස්ථාවට විරුද්ධව ක්‍රියා කරන්නේත් නැහැ. අනෙක් කාරණය නම් ඒ සිදුවීම සම්බන්ධයෙන් සිනමා ප්‍රේක්ෂකයාට ප්‍රශ්න කිරීමේ ඉඩක් මා මේ නිර්මාණයේ නිර්මාණය කරලාත් නැහැ. ඒ නිසා මා මෙතැනදි යෞවන ප්‍රේමය ගැන කතා කරනවාටත් වඩා කතා කළේ ඒ ලෙවල් පන්තිය ගැනයි. එහි තිබුණු අහුමුලුයි මා පෙන්වා දුන්නේ. ඒ නිසා යෞවන ප්‍රේමයට කතා කරන නිර්මාණයක් ඉදිරියේදි මා නිර්මාණය කරනවා. එහිදි යෞවන ප්‍රේමය ගැන මීට වඩා විවෘතව කතා කරාවි යැයි මා සිතනවා.”
මීට වසර තිහ, හතළිහකට පෙර ඔවුන්ගේ ක්‍රියාකාරකම් හා හැඟීම් පෙළ ගැසී තිබුණු ආකාරයේ මෙන්ම වර්තමානයේ සිටින යෞවන - යෞවනියන්ගේ ක්‍රියාකාරකම් හා හැඟීම් පෙළ ගැසී තිබෙන ආකාරයේ යම් වෙනස්කමක් තිබේ දැයි කිසිවකුගේ සිතේ ප්‍රශ්නයක් පැන නැඟිය හැකිය. එවිට දැන් ඉන්න ඒ ලෙවල් පන්තියේ ඉන්න අය වැඩිහිටියන් බවට පත් වූ පසුව ඔවුන්ගේ ළමයි ඒ ලෙවල් පන්තියේ ඉදිද්දි, ඒ අයට අපේ කාලයේ තිබුණු ඒ ලෙවල් පන්තිය කොයිතරම් සුන්දරද?අපි කළ දේවල් එක්ක උඹලා මොනවාද මේ කරන්නේ? පවසමින් බණිනවා යැයි කියා සිතමු. ඒ කුමන දේ පැවසුවද මේ පන්තියේදි සිදුවන සියල්ල ම සාපේක්ෂ ය.
*“ඒ තෝරා ගැනීම දුෂ්කර වෑයමක් වන්නට ඇති නේද?”
“ඒ සඳහා අපේ රටේ පාසල් හතළිස් පහකට වඩා වැඩි සංඛ්‍යාවක අප සංචාරයේ යෙදුණා. ළමයින් ගත්තොත් අනුත්තරගේ චරිතය රඟපාන සචිර සොයා ගත්තේ නුවරින්. වත්සල අනුරාධපුරයෙන්. රවිඳු කැබිතිගොල්ලෑවේ. කේෂාලි ගම්පහෙන්. රශ්මි ත්‍රිකුණාමලයෙන්. නිවර්තනා මීරිගමෙන්. කසුන් නුවරින්. අහිංසාව මුණ ගැසෙන්නේ මාතලෙන්. අහිසාගේ චරිතය සඳහා මා සෙව්වේ රංගනය ගැන හැඳෑරුව කෙනෙකු නොවෙයි. අවසානය වනතුරුම ඒ චරිතයට අපට ළමයකු මුණ ගැසුණේ නැහැ.
මේ නිසා මේ චිත්‍රපටය රූගත කිරීම් කල්දමන්නයි මමත්, දමින්ද මඩවලත් තීරණය කරගෙන සිටියේ. ඊට පසුව දමින්දගේ කමල් අලහකෝන් කියන හිතවතාටත් මේ ගැන පවසනවා. එවිටයි ඔහු මෙහෙම ගැහැනු ළමයකු සිටින බව පවසන්නේ. එවේලෙහි නම් ඈ ඒ චරිතයට ගැළපේවි යැයි මට විශ්වාසයක් තිබුණේත් නැහැ. ඒත් මම ලහිරුකා බලන්න යනවිටත් ඈ සිටියේ මිදුල අතුගාමිනුයි. මා ගොඩක් දුරට සොයමින් සිටි අහිංසාගේ චරිතය ලහිරුකායි. අනුත්තර නම් සියයට සියයක්ම මා සෙවූ කෙනාමයි. ඒ චරිතය සඳහා රඟපෑමට සම්බන්ධ කෙනෙක් නොවෙයි මා ගන්නට සිටියේ. ඒ අදහස ඒ අයුරින්ම ඉටුවුණා.
ඒ වගේම ඔහුව මා දැක්කේ අහම්බයෙන්. පසුව බලෙන්ම වගෙයි ඔහුව එක්කරගෙන ආවේ. මා සමඟ කතා කළාට පසුව ඔහු චරිතය රඟපාන්නට එකඟ වුණා. ඒ වනවිටත් ඔහුගේ චරිතයට පන්දහසක් පමණ පිරිසක් බලලයි තිබුණේ. ඒ පිරිස අතරිනුයි ඔහුව තෝරා ගැනුණේ. යොමාල්ගේ චරිතයට වුණත් මා සිතූ චරිතයමයි තෝරා ගැනුණේ. මේ පන්තියේ අන්තිම ඉඳන් චුයින්ගම් කන කොල්ලත් මේ චිත්‍රපටයේ චරිතයක්. මෙහි සිටින සෑම කෙනෙක්ම මේ නිර්මාණයේ චරිතයක්. සාමාන්‍යයෙන් පන්තියේ පළමු පේළියේ ඉන්නේ ඉගෙන ගන්නත් බැහැ, ඒත් විශ්වවිද්‍යාලයට යන්න සිතාගෙන සිටින පිරිසක්. දෙවැනි පේළියේ ඉන්නේ මේ දෙපැත්තම සමබර කරගත් පිරිසක්. තුන්වැනි පේළියේ ඉන්නේ පැණියෝ ටික. ඔවුනුයි කටකනේ සිටින තරමට සිනාවෙන්නේ. සිව්වැනි පේළියේ ඉන්නේ අයියලා ටික. එහෙම සිනාවීමට අනුත්තරට බැහැ.
සුභා වගේ ළමයෙක් සෑම පන්තියක ඉන්නවා. ඈ ඉන්නේ නිතරම කොල්ලොත් එක්කමයි. ඒත් ඈ නිතරම උන්ගෙන් බැණුම් අහනවා. මේ වගේ ලස්සන චරිත ටිකකුයි මා සෙව්වේ. ඔවුන් මට මුණ ගැසුණා. ඒ වගේ ම චාන්දනී, ජයලත් මනෝරත්න, ජයනි, උමාලි, තුමිඳු ඇතුළු ප්‍රවීණ නළු - නිළියන් සියල්ලන්මත්, කැමරා අධ්‍යක්ෂ පාලිත පෙරේරා, රුවන් කොස්තා ඇතුළු සියලුදෙනාම මේ නිර්මාණය සාර්ථකව නිර්මාණය කිරීමට මට සහයෝගය දුන්නා.”
සාකච්ඡාව හා ඡායාරූපය
තිලානි ශානිකා විතානාච්චි