* මේ අමාත්‍යාංශය මට භාර දෙන කොට තිබුණේ බෝඩ් ලෑල්ලක් විතරයි
* ග්‍රාමීය කර්මාන්ත දියුණු කීරීම දිළිඳුකම පිටුදැකීමේ පහසුම මඟයි
- ඇමැති දයා ගමගේ
මේ දිනවල දුප්පතාගේ හිතවතා ඔහුය. මෙරට ලක්ෂ ගණනක් වූ දුප්පතුන්ට නැඟී සිටීමට අත්වැල සැපයීමට ඔහු නිරන්තරයෙන් පේවී සිටින්නේය. ඔහු වෙන කවරෙකුත් නොව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගරන්වීම් ඇමැති දයා ගමගේ මහතායි.
දිළිඳු ජනතාවට නව ආලෝකයක් දෙන අලුතෙන් හිතමු - දිරියෙන් නැගිටිමු ජාතික වැඩසටහනේ නියමුවාද ඔහුය. මේ එතුමන්ගේ හඬයි.
මට මේ අමාත්‍යාංශය භාර දෙන කොට තිබුණේ බෝඩ් ලෑල්ලක් පමණයි. මට අවශ්‍ය නැහැ විශාල ගොඩනැඟිලි හදලා මිනිසුන්ගෙන් විශාල බදු එකතු කරලා අපේ අපනයන වෙළෙඳපොළට ඇතුළුවීමේ අවස්ථාව නැති කරගන්න. අපි ඇතුළු වෙන්න ඕන ලෝක වෙළෙඳ පොළට. අපි ඇතුළු වෙන්න ඕන තරගකාරී වෙළෙඳපොළට. එතනදී අපේ භාණ්ඩවල හොඳ ප්‍රමිතියක් තියෙන්න ඕනේ.
එදා අපි අපේ ගෙවල් දොරවල් උකස් කරලා තමයි වෙළෙඳපොළ සොයා ගත්තේ. නමුත් අද ජනතාවට ඒ ගැන හැඟීමක් නැහැ. අපේ හිටපු ප්‍රේමදාස ජනාධිපතිවරයා එදා 47වැනි කර්මාන්ත ශාලාව විවෘත කරන කොට මටත් හිතුණා කර්මාන්ත ශාලාවක් දාන්න.
මට අවුරුදු තුනහමාරෙදි මගේ පියා නැති වුණා. එදා පටන් අපි බොහෝ සෙයින්ම පින් කටයුතුවලට නැඹුරු වුණා.
“අලුතෙන් හිතමු - දිරියෙන් නැගිටිමු“ තේමාව යටතේ දිළිඳුකමේ හෙට දවසේ අභියෝග ජය ගැනීමට පවුල් ලක්ෂ 6කට අලුතෙන් සමෘද්ධි හිමිකම් ලබා දීමේ ජාතික උත්සව මේ දිනවල සිදු කරනවා. ඒ අනුව සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීමේ පළමු අදියර ලෙස ක්‍රියාත්මක කළ ජාතික උත්සවය අම්පාර මහජන ක්‍රීඩංගණයේ දී මැයි මස 30 දින ආරම්භ කළා.
අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ජීවිත කාලයේම සමෘද්ධි ප්‍රතිලාභීන්, සමෘද්ධිලාභීන් හැටියටම ඉදියි කියා.
අවුරුදු 3ක් වගේ කාලයක් ඇතුළත මේ අය යම්කිසි ව්‍යවසායකයෙක් බවට පත් කරන්න සමෘද්ධි සහනාධාරය කියන ආකල්පය ඉවත් කරලා කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ ආකල්පය ඔවුන් තුළ ගොඩනැඟීම අපේ ඉලක්කයයි. විශේෂයෙන්ම මේ ලක්ෂ 6 ඉලක්ක කරගෙන ඒ කටයුත්ත සාක්ෂාත් කර ගැනීමට කටයුතු කරනවා. සමෘද්ධි කාඩ්පත ලබාදීමත් සමඟ ව්‍යවසායකයකු වශයෙන් කරන්න කැමැති ව්‍යාපාරය තෝරා ගැනීමෙන් අනතුරුව සමෘද්ධි බැංකු මඟින් ඒ අයට අඩු මුදලකට තමන්ගේ කර්මන්තය කරගෙන යාමට ණය ලබා දෙනවා. ඒ පිළිබඳව මේ වන විට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය දැනුවත් කිරීමේ කටයුතු සිදු කරනවා. සමෘද්ධිලාභියෙකු වීම ජීවිතය ආර්ථික වශයෙන් ගොඩනඟා ගැනීමට ලැබෙන අනගි අවස්ථාවක්. සමෘද්ධි දීමනාවට අමතරව සමාජ ආරක්ෂණ අරමුදල මඟින් ද මේ පවුල් සඳහා විශේෂ දීමනා ලබා දෙනවා. අධ්‍යාපනය, නව දරු උපත්, විවාහ මංගල්‍ය, වැඩිවියට පත්වීම ආදී කටයුතු සඳහා විශේෂ දීමනා ලබා දෙනවා. සමෘද්ධි පවුල්වල අධ්‍යපනය ලබන දරුවන්ට “සිප්දොර“ ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා දරුවන්ගේ උසස් අධ්‍යපන කටයුතු සඳහා මුල්‍යමය පහසුකම් සපයනවා.
එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා “ජනසවිය“ආරම්භ කළේ “නැති බැරි අය ඇති හැකි අය“බවට පත් කිරීමටයි. එදා එතුමාගේ වැඩපිළිවෙළේ සාර්ථකත්වය ගොඩනැඟී තිබුණේ මුදල් ලබා නොදුන්නත් හොඳ සාර්ථකත්වයක් තිබුණ නිසායි. අඩු ආදායම්ලාභී ලක්ෂ අටහමාරක් පමණ පොරොත්තු ලැයිස්තුවේ සිටිනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ගෙන් මම ඉල්ලීමක් කළා මේ ලක්ෂ අටහමාරට සමෘද්ධිය ලබා දිය යුතු කියා. ඒ අනුව මෙවර අය වැයෙන් ලක්ෂ 6 කට සමෘද්ධිය ලබාදීමට වෙන් කළා. මෙසේ සමෘද්ධි සහනාධාරය ලබන අය සවිබල ගැන්වීමට මම ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති මඟින් මේ වසර 3 ඇතුළත අවම වශයෙන් ඔවුන්ගේ ආදායම රුපියල් ලක්ෂ 5ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. සමෘද්ධිලාභියා සමහර විට සිතිය හැකියි සමෘද්ධි මුදල ලැබෙන්නේ පිනට කියා නමුත් එසේ නොසිතා සමෘද්ධි යැපුම් මානසිකත්වයෙන් සමෘද්ධිලාභීන් මුදාගෙන ආයේජනවලට යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. සමෘද්ධිය ලබාදීමෙන් පමණක් මිනිස්සු පොහොසත් වෙන්නේ නැහැ. අපි ඊට සමඟාමීව ඔවුන්ගේ ආදායම් මාර්ගය ඉහළ නැංවීමට ව්‍යාපෘති ඇති කිරීම අවශ්‍යයි.
සමෘද්ධි දීමනාව ලබාදෙන්නේ මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමට. සමෘද්ධියේ ඉතිරි කිරීමක් තිබෙනවා. මෙහි ඇති ඉතිරි කිරීම අනාගත ආයෝජනයක්. එමගින් පුද්ගලයා ණය බරින් නිදහස් කර ගැනීමේ වැඩසටහන් තිබෙනවා. සමෘද්ධියෙන් පුද්ගලයා නව ආදායම් මාර්ග කෙරෙහි යොමු කරවන වැඩසටහන් ද තිබෙනවා. ඇත්ත වශයෙන් ම සමෘද්ධිය යනු දිළිඳු පවුලක් ආර්ථික හා සාමාජීය වශයෙන් ඉහළට ඔසවා තබන වැඩසටහනක්. දිළිඳු පවුල් නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීමයි. සහන ලබාදීමෙන් පමණක් දිළිඳුකම පිටුදකින්න බැහැ කියා මතයක් තිබෙනවා. ලෝක බැංකුවේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේත් උපදේශනය වන්නේ සහන කපා හැර අය වැය පරතරය අඩු කරගන්න යන්නයි. දකුණු ආසියාවේ බොහෝ රටවල දිළිඳු සහන කපා හැරීමේ හැකියාවක් නැහැ. මෙවැනි සහන ලබා දෙමින් දිළිඳු පවුල් නිෂ්පාදන ක්‍රියාවලියට දැයක කර ගැනීම මෙයින් බලාපොරොත්තු වෙනවා.
අපේ රටේ සමෘද්ධි බැංකු 1073ක් තිබෙනවා. මා පටන් ගෙන ඇති මගේම බැංකුවේ අත්දැකීම් යෙදා ගෙන සමෘද්ධි බැංකු පද්ධතියම සියලු පහසුකම් සහිතව පරිගණකගත කිරීමට කටයුතු කරගෙන යනවා. මේ බැංකු මඟින් අපි ව්‍යවසායකයන් අඩුම වශයෙන් ලක්ෂයක්වත් බිහි කරන්න බලාපොරොත්තු වෙනවා. මෙයින් අපිට රැකියා ලක්ෂ දෙකහමාරක් පමණ ඇති කිරීමට හැකි වේවි කියා මා විශ්වාස කරනවා.
වැඩි ප්‍රතිලාභ ලබාගත හැකි කුළුබඩු වර්ග හඳුනාගෙන ඒවා කෙරෙහි ගොවීන් දිරිමත් කිරීමට විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. රුහුණු විශ්වවිද්‍යාලය සමඟ එකතු වී කුරුඳු තලන්නන් 20,000කට පුහුණුවක් ලබා දුන්නා. කුරුඳු සැකසුම්කරුවන්ගේ හිඟයක් තියෙනවා. ඒකට විශ්වවිද්‍යාල සමඟ එක්ව වැඩපිළිවෙළක් සකසනවා. විශ්වවිද්‍යාල 5කට අපේ කුරුඳු හඳුනා ගැනීමට පර්යේෂණ කිරීමට භාර දී තිබෙනවා.
අපේ රටේ ඇති කුරුඳු, ගම්මිරිස් වැනි භෝගවලට විදේශයේ හොඳ ඉල්ලුමක් පවතිනවා. ගම්මිරිස් මිල පසුගිය වසර 15වේදී ශීඝ්‍රයෙන් වැඩි වුණා. ගම්මිරිස් පරිභෝජනයත් 15% කින් වැඩි වුණා. ගම්මිරිස් වැඩිපුරම අපනයනයේ යෙදෙන්නේ වියට්නාමයයි. අපේ ගම්මිරිස්වලට වියට්නාමයේ ගම්මිරිස්වලට වඩා හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම කුරුඳුවල උසස් ඖෂධීය ගුණයක් තිබෙනවා. මීට පෙර කුරුඳු පොලු වශයෙන් අපනයනය කළා. කුරුඳුවලට හොඳ මිලක් ලබා ගැනීම සඳහා ඒවා කුරුඳු තේ වලට පරිවර්තනය කර අපනයනයට යොමු කළා . ඒ සඳහා හොඳ විදේශ ආදායමක් ලබා ගත හැකියි. භාණ්ඩ වෙනුවට නිෂ්පාදිත ද්‍රව්‍යයක් ගොවීන්ගෙන් ලබා ගැනීමට ගොවීන් දිරිමත් කළා. පාරම්පරික කුරුඳු කර්මාන්තයේ ඉන්න අයට රුපියල් 10,000ක දීමනාවක් දීලා ඒ අය පුහුණු කරලා එම කර්මාන්ත හිමියන් විදේශවලට යැව්වා. එහිදී ඔවුන් වඩා එලදායී භෝග කොහොමද හදා ගන්නේ කියලා අත්දැකීම් ලැබුවා. කුරුඳු තෙල් වැනි. අපනයනය කරද්දී මේවාට යම් අගයක් එකතු කළා. අපේ කුළුබඩු අපනයන ආදායම 39% කින් වැඩි වුණා. සිංගප්පූරුව, තායිලන්තය,ජපානය වැනි රටවලට අපේ අය ගිහින් එහි පැවති ප්‍රදර්ශන නරඹා ඒවායේ අභාසය ලබාගෙන තම කුළුබඩු නිෂ්පාදනය වැඩි දියුණු කරගන්න සමත් වුණා. කටු අනෝදාවලට ලෝකයේ කොතරම් ඉල්ලුමක් තියෙනවාද? කටුඅනෝදා වීදුරුවක් බිව්වොත් ජීවිත කාලයේ ම පිළිකාවක් නොසෑදී ජීවත් වෙන්න පුළුවන්. අපේ රටේ කොයි තරම් මේ වගේ ඖෂධ පැළෑටි තිබෙනවා ද?
තියෙන ඉඩම්වලින් අස්වැන්න දෙගුණයක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ලෝක බැංකුවේ ව්‍යාපෘති 400ක් තිබෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා හරහාත් ණය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. තව වසර 2කින් ගෝනිවල භෝග ගෙන යාම නවතා බේල් ක්‍රමයට හුරු කරනවා.
අපි වැඩි දායකත්වයක් ලබා දී තිබෙන්නේ කෘෂිකර්මාන්තයටයි. ලෝකයේ අනෙක් රටවල් හා සසඳන විට තාක්ෂණය හා තාක්ෂණ හුවමාරුව, අගයදාම සංවර්ධනය අතින් අපි ගොඩාක් අපේක්ෂා තිබෙන රටක්.
ලොව පිළිගත් දේශීය කුළුබඩු වර්ග 4ක් සහිත සමරු මුද්දර නිකුත් කරමින්, හා ආහාරමය වටිනාකම තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ද මේ වසරේ දී කටයුතු කළා. මෙරට ආහාර අවශ්‍යතාව සපුරාලීමට හා වනගහනය තවදුරටත් වර්ධනය කිරීම අරමුණූ ඇතිව අවුරුදු නැකතට පැළයක් ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ රෝපණය සඳහා පැළ 5000ක් බැගින් වසර කීපයක සිට මේ දක්වා බෙදා හැරියා. ඒ යටතේ ටී.ජේ.සී. අඹ පැළ, අනෝදා පැළ ආදිය ජනතාව අතරේ බෙදා හැරියා.
ඇටයක් විසි කළත් පැළවෙන මේ රටේ අද රුපියල් බිලියන 600ක පමණ ආහාර ද්‍රව්‍ය ආනයනය කරනවා. මෙලෙස ආනයනය කරන භාණ්ඩ වලින් 75% ක් පමණ අපේ රටේ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අගයදාමය සංවර්ධන වැඩපිළිවෙළ මඟින් අපනයන වෙළෙඳපොළ ජය ගන්න ඕනේ. අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් කෘෂි කලාප 23ක් අපි මේ වන විට ආරම්භ කර තිබෙනවා.
අපේ රටේ වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. තම මවුපියන්ව බලා ගන්න තරම් ආර්ථික ශක්තියක් අද තම දරුවන්ට නැහැ. සමහර දරුවන් තම දෙමාපියන් හිතාමතාම හිතාගන්නවත් බැරි තරමට අසරණ තත්ත්වයට පත් වෙලා. සමාජයක් හැටියට අපේ යුතුකම ඔවුන් රැකබලා ගැනීමයි. දැනට අපේ රටේ වැඩිහිටි නිවාස 306ක් තිබෙනවා. ඒවායේ පහසුකම් වැඩි දියුණු කිරීමට ව්‍යාපෘතී ක්‍රියාත්මකයි.
අප රටේ වැඩිහිටි ජනගහනය ලක්ෂ 26ක්. වයස අවුරුදු 70ට වඩා වැඩි පිරිස ලක්ෂ 10ක්. ඒ අයට මාසිකව ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව ලෙස රුපියල් 2000ක මාසික දීමනාවක් ලබා දෙනවා. එම පොරොත්තු ලැයිස්තුවේ 85000ක් පමණ තව සිටිනවා. රජයට බරක් නොවී ඒ අයටත් මේ මුදල ලබාදීමට කටයුතු කරනවා. ලොතරැයියක් නිකුත් කිරීම මඟින් එය සිදු කරන්න මා බලාපොරොත්තු වෙනවා.
මේ වැඩසටහනට සමඟාමීව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්තව පවතින සමාජ ආරක්ෂණ අංශයෙන් සනීපාරක්ෂක පහසුකම් සම්බන්ධව ශ්‍රී ලංකාව පුරා එම පහසුකම් නොමැති අඩු ආදයම්ලාභී විශාල පිරිසකට පහසුකම් සැලසීමට මේ වර්ෂයේ දී කටයුතු යොදා තිබෙනවා. අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන නිවාස ව්‍යාපෘතිය හරහා මාසිකව දිනුම් අදින ලොතරැයියෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට නිවාස 331ක් හා අමතරව නිවාස 1000ක් අඩු ආදායම්ලාභීන්ට ලබාදීමට මේ දිනවල කටයුතු කරනවා.
අමාත්‍යාංශය මඟින් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති 50,000ක් ඉල්ලක කරගත් අපනයන ගම්මාන 5000ක වැඩසටහනට සම්බන්ධ කරගෙන අපනයනය කළ හැකි දේවල් නිෂ්පාදනය කරන්න මේ අය යොදා ගන්නවා. මේ හරහා රටේ ජාතික ආදායම නංවාලීමේ හොඳ උත්සාහයක යෙදෙනවා. මේ පිළිබඳ මම මගේ නිලධාරී මණ්ඩලයට අවශ්‍ය සියලු උපදෙස් මේ වන විට ලබා දී තිබෙනවා.
ලෝක වෙළෙඳපොළේ කුරුඳුවලින් ඩොලර් මිලියන 168ක අපනයන ආදායමක් තිබුණා. ජාත්‍යන්තරයට වැඩිපුරම කුරුඳු අපනයනය කරන්නේ මෙක්සිකෝවයි. නමුත් අපේ රටේ කුරුඳු වලට තමයි ඉහළ ඉල්ලුමක් තියෙන්නේ. එය 52% ක්. ගම්මිරිස් 60% ක් අපනයනය කරන්නේ ඉන්දියාවයි. ලෝක බැංකුව සමඟ කතාකර දේශීය ගොවීන් සඳහා උදව් ලබා ගන්න බලාපොරොත්තු වුණා. නමුත් කෘෂිකර්මාන්තය අවදානම් නිසා ණය දෙන්න කැමැති නැහැ. ගංවතුර, නියඟය වැනි අවදානම් තත්ත්වයන් අප රටට බලපෑම නිසා වසරකට රුපියල් බිලියන 200ක පාඩුවක් සිදු වුණා.
මෙරට ඉස්සො කර්මාන්තයටත් හොඳ ඉල්ලුමක් තියෙනවා. පසුගිය රජය හැම තැනම ඉස්සො කොටු හදලා. ඒවායේ නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. මේ කොටුවල හිටිය ඉස්සො වසංගතයකින් මිය ගියා. ග්‍රෑම් 250ට වඩා වැඩි බර ඉස්සො තමයි අපනයනයට අවශ්‍ය වෙන්නේ. අපේ අරමුණ හොඳ ඉස්සෝ පැටව් ලබාදීමයි. ඒ සඳහා හොඳ මවු ඉස්සන් අවශ්‍ය වෙනවා. මේ සඳහා අවශ්‍ය හැචරි දියුණු කරන්න එක් අයකුට රුපියල් ලක්ෂ 35ක ආධාර ලබා දුන්නා. තායිලන්තය , හවායිවලින් තමයි හොඳ ඉස්සො ගෙන්වන්නේ. ඉන් ඉස්සො ජෝඩුවක් 60 දාහක් 70 දාහක් වෙනවා. ඉන් ලක්ෂ හත හ මාරක් උපයා ගත හැකියි. පොකුණු ලයින් කළොත් දස ගුණයකින් අස්වැන්න ගන්න පුළුවන් වෙනවා. රුපියල් මිලියන දාහක පහළොස් දාහක ආදායමක් ගන්න පුළුවන්. යාපනයේ කකුළු අස්වැන්නටත් මෙවැනිම වැඩපිළිවෙළක් අරඹනවා. අමුද්‍රව්‍ය නැතිව ආයෝජන වලින් එලක් නැහැ.
බතික් කර්මාන්තයට ලෝක වෙළෙඳපොළ පුළුල් කර වෙනම වෙළෙඳපොළක් සොයා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සකසනවා. අම්පාරේ බතික් කර්මාන්තයේ යෙදුණු කාන්තාවන් ඉන්දුනීසියාව, තායිලන්තය යන රටවලට යවා පුහුණුවක් ලබා දුන්නා.